Wednesday, April 22, 2015

33. වැස්සට පෙර | Before The Rains

ටුවිටරේ අපේ බාගයා නංගි (බාගයාද භාග්‍යාද මන්දා.....) හෙන කවිකාරි. ලස්සන ලස්සන කවි අකුරු 140ක් ඇතුලේ ගොනු කරන්න හරි හපනි. මේ තියෙන්නේ බාගිගේ එක කවියක්. 


බාගි ලිව්ව ඔය කවිය කියවනකොට මම හිටියේ 177 බස් එකක් ඇතුලේ ජනේලෙන් එලියේ වහින වැස්ස දිහා බලාගෙන. ජනෙලෙන් එලියෙ තෙමෙන ලෝකයේ තරුණ ජෝඩුවක් කිටි කිටියේ තුරුල්වෙලා චුට්ටි කුඩයක් යටින් යන කොට මටත් එක පාරම කවියක් ලියවුනා.



කුඩුවෙන්න වහින
තිත්ත කළු වැස්ස.. 
කුඩයකුත් නැතිව 
තෙමෙන්නට එන්නලු.. 

තෙමෙන එක 
බොහොම සුන්දර 
දෙයක් වූ 
කාලයක් තිබ්බට 
වගකීම් හිතෙන කොට 
තෙමෙන්නට 
බයයි මට..


වැස්සේ තෙමෙන්න ආස හැමෝටම බලන්න වටින ෆිල්ම් එකක් ගැනත් ඒ එක්කම මතක් උනා, ඒ ෆිල්ම් එකේ නමත් "වැස්සට පෙර", එහෙම නැත්නම් Before The Rains. IMDB දර්ශකයේ 6.7ක අගයක් ගත්ත මේ ලස්සන  චිත්‍රපටිය 2007 තිරගත වෙච්ච එකක්. කතාව ලාවට කියන්නම්.


1930 ගණන් වලදි සුද්දෝ ඉන්දියාව යටත් කරන් හිටි අවසාන කාලෙ තමයි මේ කතාව දිග ඇරෙන්නේ. කේරලයේ පාරවල් හදන්න එන හෙන්රි (අපෙ ඩූඩ් නෙවෙයි, හරිය) කියන සුදු ජාතිකයත්, ඔහුගේ විශ්වාසීම ගෝලයා, එහෙමත් නැත්නම් සමීපතම මිතුරා වෙන T.K නම් ස්වදේශික තරුණයා සහ හෙන්රිගේ නිවසේ මෙහෙකාරිය වන සජානි අතර තමයි මේ කතාව දිවෙන්නේ.

හෙන්රි සහ සජානි අතර ඇතිවෙන පුංචි ආදරේ අතු ලා, ඉති ලා, දළු ලා වැඩෙනවා. කොච්චර ආදරේද කියනවා නම් දෙන්නම හොරාට හොරාට දිය ඇල්ලක ලඟ මුණගැහිලා ආදරේට පෝර දානවා. ඔය අල්ල පනල්ලේ අඹ කඩන්න දිය ඇල්ල පැත්තට ගිය චුට්ටි කොළු රැලකට මේ ආදරවන්තයන්ව මුණගැහෙන එකෙන් වැඩේ ටිකක් අවුල් වෙනවා.

ඇයි අවුල් වෙන්නෙ?

මොකද හෙන්රි කියන්නෙත් විවාහකයෙක්. එයාගේ දරුවොයි පවුලයි ඉන්නේ ඈත එංගලන්තේ. සජානි කියන්නෙත් ටිකක් නරුම ඩයල් එකකගේ ලියාපදිංචි බිරිඳ. අනික හිතාගන්නකෝ 1930දි ඉන්දියාව ගැනත්. දැනටත් සත්තු ඉන්න එකේ ඒ කාලෙ කොහොම ඇද්ද? කොහොම හරි සජානිගේ ස්වාමිපුරුෂයට වැඩේ මාට්ටුවෙනවා. මිනිහගෙන් බේරෙන්න සජානි හෙන්රි හොයන් එනකොට හෙන්රිගෙ පවුලේ කට්ටියම හෙන්රි එක්ක නිවාඩුව ගතකරන්න කේරලයට ඇවිත්.

තමන්ගෙ වත්තේ දොඩම් වලට වැඩිය අනුන්ගේ වත්තෙන් හොරෙන් කඩන නාරං රහ උනාට කොයි කවුරුත් බලන්නේ තමන්ගේ දොඩම් ගහ රැකගන්නනේ. හෙන්රි කරන්නෙත් ඒ දේමයි. සජානිව කොහේ හරි ගෙනිහින් හංගන්න කියලා TKට කියන හෙන්රි සජානිට ඕනෙම වෙලේදි සජානිව මග අරිනවා. ඒත් හෙන්රි ගැන විශ්වාස කරලා ආයෙම එන සජානිට හෙන්රි මූණටම කියනවා තමන්ගේ දරු පවුල රැකගන්න ඕනේ, ඒ නිසා සජානි වෙනුවෙන් මුකුත් කරන්න බෑ කියලා, ඒ වගෙම එයා සජානිට ආදරේ නෑ කියලත්.



අන්න එවෙලේ සජානිට තේරෙනවා වැස්සේ තෙමිච්ච සතුට, ආශ්වාදය දැන් නියුමෝනියාවක් වෙලා විත්තිය. දුක, පසුතැවිල්ල, ලැජ්ජාව දරාගන්න බැරිව සජානි හෙන්රිගේ තුවක්කුව අරන් එතනම වෙඩි තියාගෙන මැරෙනවා. එතනින් එහාට හෙන්රි එක්ක TK, හෙන්රිගේ පවුලේ උදවිය මුහුණ පාන කතාව තමයි ඉදිරියට යන්නේ. බලලා නැති උදවිය කොහෙන් හරි හොයලා බලන්න, පාඩුවක් වෙන එකක් නැහැ.


ඔන්න ඔය නිසා නිකම් වැස්සේ තෙමෙන්න යන්නෙපා, ගෙදර ෂවර් එකෙන් නානවා වගේ ඒකාකාරි නූනට පස්සට ලෙඩ ගොඩයි...



12 comments:

  1. තැන්කුයි ඔත්තුවට..

    ReplyDelete
    Replies
    1. ඔන්න තෙමෙන්නෙපා දේශෝ. තෙමුනත් කුඩයක් අරන් යන්ට ඕනෙ, හරිය?

      Delete
  2. හරි බං, ඌ මම නොවන බව මටත් තේරුනා. උඹට මම තව ඔත්තුවක් දෙන්නද? මට මතක විදියට ඒක Sleeping Dictionary අන්න ඒකත් ටිකක් ඔය වගේ.

    ReplyDelete
    Replies
    1. මම අහලා තියෙනවා ඔය ගැන. වෙලාවක් ලැබුනොත් බලන්න ඕනේ ඩූඩ් අයියා....

      Delete
    2. මමත් කියන්න ආවේ ඔන්න ඕක ගැන. වැඩේ තියෙන්නේ ඒකෙ ඉන්න සුද්දා සම්මතයට පිටින් ගිහිං කෙල්ලත් එක්ක කැලෑ වදිනවා.

      Delete
    3. මේක කොහෙන් හරි හොයලා බලන්න ඕනෙ...

      Delete
  3. වැස්ස කියන්නේ කාගේ කාගෙත් හදවතට නොදැනීම කතා කරන දෙයක්..

    ෆිල්ම් එකේ ඔත්තුවට තැන්කිවු වේවා..

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා වැස්ස කියන්නේ කොයි තරම් ලස්සන සොඳුරු දෙයක්ද? දිනේශ් ඉතින් මට වඩා ලස්සනට වැස්ස ගැන ලියන්න හපනා නෙ

      Delete
  4. අපූරුයි ඈ කවි ටික.. ඒ වගේම ෆිලුම ගැන ඔත්තුව ට ත් ස්තූතියි

    ගලේ මදරාසපට්ටිනම් බලල තියේද
    බලල නැත්තං හොයං බලන්ටකො

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මහේෂ්...

      මදරාසි පට්ටනම් කියන්නේ මම ආසම ෆිල්ම් එකක්... වින්නත්තාන්ඩි වරුවායා ළඟට මම ආසම ෆිල්ම් එකක්.

      Delete
  5. මම පුරුද්දක් විදියට හින්දි බලන්නේ නෑ. ඒ වුනත් මේ කතාව බලන්න හිතුනා. ලස්සන විස්තරේ,

    ReplyDelete
    Replies
    1. සුදීක අයියේ, මේක හින්දි නෙවෙයි ඉංග්‍රීසි ෆිල්ම් එකක්. ඉන්දියාවේ රූගත කරපු

      Delete