Friday, December 23, 2016

42. ආයෙම පාරක් හම්බන්තොටට!

ඉස්කෝලේ නිවාඩු කාලේ කියන්නේ ඉතින් කොයි කාගේත් ආසම කාලේ. හැමෝම නිවාඩුව එන්න කලින් ඉදන්ම ප්ලෑන් කරන්නේ නිවාඩුවට කොහෙද යන්නේ කියලයි. කාලෙකින් කොහෙවත් දුර ගමනක් යන්න බැරි වෙච්ච් එකේ අපිත් හිතුවා දවස් දෙකක් විතර පොඩි රවුමක් ගහලා එන්න. තෝරගත්තේ දකුණ. මාතරින් එහාට මම අවුරුදු 17කට පස්සේ තමයි ඔය යන්න හැදුවේ. අපේ නෝනා පළමු වතාව.


පවුලේ අයත් එක්කම ඉතින් උදෙන්ම ගමන පිටත් උනේ දවස ඉතිරිකරගන්න පුළුවන් නිසා. අධිවේගී මාර්ගය තියෙන නිසා බොහොම පහසුවෙන් මාතරට ඉක්මනට ලං උනා. මාතර යන අතර කොක්මාදුව ඉදලා ගොඩගම වෙනකම් සෑහෙන්න මොණරු බලාගත්තා. උදෙන්ම ආපු එකේ වාසනාව කියන්නේ පිල් විදහගත්ත මොණරු දෙතුන් දෙනෙක්වම හිතේ හැටියට බලාගත්තා. එහෙම්ම මාතර කොටුවට ගියේ උදේ කෑම කාලම ගමන පටන්ගන්න.

ගාලු කොටුව එක්ක බැලුවම මාතර කොටුව බොහොම පුංචි එකක්. ඒ වගේම ලස්සන අතිනුත් ගාල්ල එක්ක හැරෙන්නවත් බෑ. හැබැයි උදෙන්ම පරෙවි දූවට උඩින් ඉර නගින හැටි බලන් ඉන්න ලස්සනයි. 


පරෙවි දූව ඔය යන අතරේ බලන්න වටිනා තැනක්. පුංචි පාලමක් දිගේ ගිහින් ගොඩබිමට පොඩ්ඩක් එහා තියෙන පරෙවි දුවේ ලස්සන අනිවාර්යයෙන් බලන්න යන්න ඕනේ. උදේ පාන්දරක යන්න පුළුවන් නම් ඒ අත්දැකීම තවත් ලස්සන වෙයි. එතනම තියෙන මාතර වෙරළ තීරයත් බ්‍රවුන්ස් හිල් කඳුවැටියත් බලන්න වටිනා තැන්.

මාතරින් පිටත් වෙච්ච අපි ඊළගට ගියේ දෙවුන්දරට. දෙවුන්දර පන්සල වටේට නවත්තලා තිබ්බ වාහන ඔක්කොම පහු කරන අපි කෙලින්ම ගියේ දෙවුන්දර ප්‍රදීපාගාරය බලන්න. ආරක්ෂක හේතුන් මත මේ ප්‍රදීපාගාරය බලන්න හැමෝටම බෑ. කවුරු හරි ඒක බලන්න එනවනම් කොළඹ වරායේ හාබර් මාස්ටර්ගෙන් අවසර අරන් එන්න ඕනේ. ප්‍රදීපාගාරය විතරක් නෙවෙයි, එතන තමයි අපේ පුංචි රටේ දකුණු කෙළවර. ඒ බව කියවෙන සමරු ඵලකයකුත් එතන තියෙනවා. මතක ඇතුව යනවා නම් අවසර අරන් යන්න.


ප්‍රදීපාගාරය බලලා ආයෙම එනකොට වම් පැත්තට හැරෙන්න තියෙන පොඩි පාරේ ගියාම ලස්සන මුහුදු තිරයක් හම්බු වෙනවා. නාන කට්ටියට හිතේ හැටියට නාගන්න පුළුවන්. මුහුදේ නාලා ලුණු පිටින් එන්න බැරිනම් රුපියල් 30ක්, 40ක් දුන්නම නාගන්න ෂවර් එකක් සුදානම් කරගන්නත් පුළුවන් වටෙන් පිටින්ම.



ඊළගට අපි ආවේ දෙවුන්දර පන්සල බලන්න. දෙවුන්දර පන්සල රටේ තියෙන ලොකුම වගේම ජනප්‍රිය පන්සලක්. හැබැයි ඉතින් පන්සලට වඩා ජනප්‍රිය දේවාලේ නිසා. පන්සල නම් සෑහෙන්න කොන්ක්‍රීට් වෙච්ච තැනක්. අලුතින් හදලා තියෙන උස බුදු පිළිමයත්. ධම්ම පදය සිතුවම් කරලා තියෙන විහාරගෙයත් වෙනසක් තියෙන දේවල්. අපි දේවාලෙට නම් ගොඩ වැදුනේ නෑ ඉතින්. 

ඡායාරූපය - Panaramio වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.


පන්සල් වත්තේ අපි යන වෙලේ අලිත් ගැට ගහලා තිබුනා. පොඩි පුතා ආස නිසා අලින්ව පෙන්නන්න ගියාට උන් අර දම්වැල් වලට හිරවෙලා ඉන්න හැටි දැක්කම හිතට පොඩි දුකක් දැනුනා. නිදහසේ ඇවිදින්න ඕනේ උනත් කකුල කැපෙන දම්වැල නිසා එකම තැන එහෙට මෙහෙට පැද්දී පැද්දි ඉන්න එක විතරයි ඒ අසරණ සත්තුන්ට තිබුන එකම සහනේ. මම නම් කියන්නේ මීට වඩා ඒ සත්තුන්ගේ අවශ්‍යතා ගැන බැලුවා නම් ටිකක් හොදයි කියලයි.


දෙවුන්දර දැක බලාගෙන අපි කෙලින්ම ගියේ වැවුරුකන්නල පන්සලට. වැවුරුකන්නල පන්සල කියන්නේ පුරාවිද්‍යාත්මක වශයෙන් බොහොම වැදගත් සිද්ධස්ථානයක්. වැවුරුකන්නල පන්සලේ තියෙන බුදු මැදුර ඉතාම ලස්සන පිළිම තියෙන පෞරාණික වැදගත්කමින් ඉහල බුදු මැදුරක්. ඒ විතරක් නෙවෙයි, අපාය ලස්සනට සිතුවම් කරපු උමං මාර්ගයකුත් මේ පන්සලේ තියෙනවා. පොඩි දරුවෝ එක්ක යනවා නම් ටිකක් ළගින් තියාගෙන අපාය පෙන්නන එක හොදයි. ඒ වගේම තමන්ගේ ඇරියස් තියෙනවා නම් පොලිය ලැබෙන්නේ කොහොමද කියලා බලාගන්නත් පුළුවන් මොකද වරද සහ වරදට ලැබෙන දඩුවම දෙකම ලස්සනට විස්තර කරලා තියෙන නිසා.

ඡායාරූපය - Panaramio වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.
උමග බලලා ඉවර වෙච්ච ගමන් අපි ගියේ වැවුරුකන්නල පන්සලේ උසට උසේ තියෙන බුදු පිළිමේ බලන්න. මේ බුදු පිළිමයේ තියෙන විශේෂ ලක්ෂණ කිහිපයක්ම තියෙනවා. බුදු පිළිමය ඇතුළත මහල් අටක් වෙනකම් අපිට සිතුවම් ඇදපු කුටීර බල බල උඩට යන්න පුළුවන්. එහෙම ගිහින් බුදු සිරස තුල තැන්පත් කරලා තියෙන ධාතු වන්දනා කරන්නත් අවස්ථාව තියෙනවා. ඊළඟ විශේෂත්වය තමයි, මේ සුවිසල් බුදු පිළිමය බාහිර ආස්තරණය හදලා තියෙන්නේ ටයිල් කැට මොසයික් එකක් විදිහට. පුළුවන් නම් නිකමට ගණන් කරලා බලන්නකෝ ටයිල් කැට කියක් නම් ඇතිද කියලා.

ඡායාරූපය - Panaramio වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.
ඔයිට අමතරව වැවුරුකන්නල පන්සලේ තියෙනවා පොඩි කෞතුකාගාරයක්. වැඩිහිටියෙක් නම් රුපියල් පහක ටිකට් එකක් අරන් තමයි යන්න ඕනේ. කෞතුකාගාරේ ඇතුලත බොහොමයක් කෞතුක භාණ්ඩ එක්ක කැපිලා පේන කෞතුක වස්තූන් දෙක තුනක්ම තියෙනවා. යෝධ ලී ඔරලෝසුව, තවත් අමුතු පන්නයේ ඔරලෝසු කිහිපයක් එක්ක මිනිස් ඇට සැකිල්ලකුත් ඒ අතර තියෙනවා.

ලී ඔරලෝසුව 
වැවුරුකන්නල පන්සල බලලා ඉවරවෙලා අපි එහෙම්ම ආවේ කුඩාවැල්ල කියන ධීවර ගම්මානයට. මාළු ගන්න නෙවෙයි, හුම්මානය බලන්න. ධීවර ගම්මානයම දැන් වෙළදපොලක් වගේ, හැම තැනම කඩ, රථ ගාල්, ආපනශාලා. මේ ඔක්කොම සංචාරකයෝ එන නිසා. මේ ලට්ට ලොට්ට මැද්දෙන් අපි හුම්මානය ළඟට යනකොට එතන රුපියල් 20ක ටිකට් එකකුත් කඩනවා. මේ ටිකට් එක කඩන්නේ කවුද කියලා නම් දන්නේ නෑ, හැබැයි ටිකට් එකේ ගහලා තිබුනේ තංගල්ල ප්‍රාදේශීය සභාවෙන් කියලා. කඩන ටිකට් ආයෙම අපෙන් එකතු කරලා ලොකු පෙට්ටියකට දාගන්නවා. ඒ ටිකට් එකේ කෑල්ලක්වත් අපිට දෙන්නේ නෑ. මට හිතුන විදිහට ඒ ටිකට් නැවත විකිණීමක් වෙන ලයින් එකක් එතන තිබුනේ. 



හුම්මානය දැන් ඉස්සර වගේ නෑ කියලා ගිය ගොඩක් අය කියනවා. අපේ නඩේ නම් පලවෙනි පාරට ගිය නිසා ඒක හොඳ අත්දැකීමක් උනා. මෙතන යට තියෙන්නේ කුහරයක්. මේ කුහරය ඇතුලට එන වතුර පාර පිඩනයක් දිගේ උඩට එන කොට ලස්සන දිය විදුමක් බලාගන්න පුළුවන්. ඉවසීමෙන් පැය භාගයක් විතර බලං හිටපු අපිට තුන් හතර වතාවක්ම හොඳ වතුර පාරවල් දෙක තුනක් බලාගන්න පුළුවන් උනා.

ඡායාරූප ස්තුතිය - https://i.ytimg.com/vi/amc4RiEtxgM/hqdefault.jpg
හුම්මානය බලන්න යනවා නම් එතන තියෙන පොඩි විස්තර කුටියටත් ගොඩ වදින්න. (මං හිතන්නේ අර ටිකට් එක ගහලා තියෙන්නේ ඒකට. සමහර විට ඒකට එන සෙනග අඩු නිසා හැමෝටම ඒක දීලා ගාණ කපනවා වෙන්න ඕනේ.) ඒක ඇතුලේ තියෙනවා හුම්මානය කියන්නේ මොකක්ද, ඒකට ඉස්සරහට මොකද වෙන්නේ, ඒකෙ විද්‍යාත්මක පසුබිම ගැන එහෙම විස්තර ගොඩක්. ඉස්සර නම් හොඳට තියෙන්න ඇති, දැන් නම් ටිකට් එකට දෙන තරම් සැලකිල්ලක් ප්‍රාදේශීය සභාව ඒක ගැන දක්වන්නේ නෑ වගේ. හුම්මානයේ අනුරුවක් එතන තිබුනත් ඒක කැඩිලා ඒක හදන්නවත් උනන්දුවක් එතුමන්ට නැති පාටක් පෙනුනේ.

ඡායාරූපය - Panaramio වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.

හුම්මානය බලලා ඉවර වෙද්දී අපිටත් හොඳ ගණන්. ඇයි ඉතින් උදේ රැයින්ම අපු ගමන නේ. ඒ පාර දවල් කෑම එකත් ගන්න බලාගෙනම කෙලින්ම අපි ගියේ අපේ නවාතැනට. ඒ රන්නේ Paddy House Villa එකට. Paddy House Villa කියන්නේ සුරේෂ් කියන මහත්මයෙකුට අයිති Home Stay ආකාරයේ නවාතැනක්. රන්න ටවුමට ඇවිදින දුරින් කුඹුරක් ඉස්සරහට වෙන්න තනි පංගලමේ හදලා තියෙන මේ නවාතැන කිසිම අවුලක් නැතිව හතර පස් දෙනෙක්ට ඉන්න පුළුවන් හොඳ නවාතැනක්. Villa දෙකටම අපිට එක රැයකට ගියේ රුපියල් 7,500යි. කුස්සියයි, ඒකේ ආම්පන්න ටිකයි තියෙන නිසා අපිටම උයාගන්නත් පුළුවන්. ගෙවන ගාණට හොඳ වටිනාකමක් තිබුන තැනක්. ඒ විතරක් නෙවෙයි, සුරේෂ් සහ ඔහුගේ මල්ලි දුමින්ද අපේ උවමනාවන් වෙනුවෙන් ඕනෑවටත් වඩා සපෝට් එක දුන්නා කිව්වොත් ඒක අතිශයෝක්තියක් එහෙම නෙවෙයි.

Paddy House Villa එකේ ඉඳන් ඉස්සරහ පේන හැටි. පින්තූරය දුන්නේ සුරේෂ් 

ඉතින් ආපු ගමනේ මහන්සි ඇරලම ඊලග ගමන් ටික යමු. ඒ ටික ලබන සතියට.





1 comment:

  1. නියම ගමනක් වගේ ගිහිල්ල තියෙන්නෙ.
    මම කීප පාරක් වැව්රුකන්නල ගිහිල්ල තිබුණ උනත් දැනට අවුරුදු දෙක තුනකට වගේ කලින් ගිය පාරත් අපාය බලන්න ආසාවෙන් හිටියට පන්සලට වඩා අපායට යන්න පෝලිම තිබිච්ච නිසා ඒ අාසාම මගෑරුන.

    ReplyDelete