Google+ හිතවත්තු

Wednesday, October 25, 2017

43. විශිෂ්ඨ නිර්මාණ හා අශිෂ්ඨ ප්‍රේක්ෂකාගාර

වේදිකා නාට්‍යයක් හා හා පුරා කියලා බලන්න එක්කං ගියේ තාත්තා. එතකොට වයස අවුරුදු පහක් හයක් ඇති. ඒ පානදුර පුරහලේ තිබුන ධර්මසිරි බණ්ඩාරනායක ඇගයීම් උලෙලක. ඒකා අධිපති, මකරාක්ෂයා සහ ධවල භීෂණ තමයි ඉතින් මුලින්ම බැලුවෙ. අම්මපා, ඒ චුට්ටන් කාලේ ඔය නාට්‍ය වල ගැඹුරු තේරුම නම් දැනුනේ නෑ.

පහුනු කාලෙක අපේ නැන්දා කෙනෙක් ජයසේකර අපෝන්සු මහත්තයගේ නාට්‍ය වලට සම්බන්ධ වෙලා හිටි හින්දා තටු වගේ නිර්මාණ බලන්න චාන්ස් එක ලැබුනා. තටු බැලුවේ ටවර් හෝල් රඟහලේ. ඒකට නම් ඉතින් ඉළ ඇදෙන්න හිනාඋනා මොකද අර තරම් බරසාර නැති නිසා

හැබැයි ටික ටික ලොකු වෙනකොට වේදිකා නාට්‍ය අත් ඇරෙන්න ගත්තා. කාලය මදිවීම, පවුල පිටින් ගිහින් බලන්න තරම් ආර්ථික හයියක් නොතිබීම, බලලා ඉවර වෙලා රෑට ගෙදර එන්න ප්‍රවාහන මාධ්‍ය නොතිබීම වගේ හේතු ගොඩක් ඒකට බලපෑවා. ඔය අතරේ කාලෙකට පස්සෙ ගිය සති අන්තේ ආයෙම නවීකරණය කරපු ටවර් රඟහලේ සිංහබාහු නාට්‍යය බලන්න අව්ස්ථාවක් ලැබුනා. ඇත්තටම අපේ බොස් කතා කරලා අපි හැමෝමට නොමිලේ ටිකට් දෙක ගානේ දුන්න නිසා තමයි ඒ අවස්ථාව ලැබුනේ (බොස්ට ජය වේවා).


රඟහලට ඇතුල් වෙන්න කලින් පැහැදිලිවම දැන්වීමක් ගහලා තිබුනා ආහාරපාන ඇතුලට ගෙනයාම තහනම් කියලා. හැබැයි ඉතින් ඇතුලට ගිය හැමෝම වගේ එව්වා අරන්ම තමයි ගියේ. ඔන්න ඉතින් හරි බරි ගැහිලා පොතේ ගුරු එනකොට දැහැනට සම වැදුනා නාට්‍යය රස විඳින්න.

මොන රස විඳිල්ලක්ද මහත්තයෝ.

චර බර සද්දෙන් ඔක්කොමල්ලා මෙන්න පොප් කෝන් පැකට් කඩනවා, රටකජු පැකට් කඩනවා, තව කෑම කනවා. සමහරු පෲස් පෲස් ගගා මහ හයියෙන් මයිලෝ අදිනවා. සෝමාලියාවේ අවතැන් කඳවුරකට කෑම බෙදුවට හපන් ලංකාවේ ටවර් රඟහල ඇතුලේ එවෙලේ.

ඒ අල්ල පනල්ලේ තව කොටසක් තමන්ගේ පත ෆෝන් බෑයවල් ඔන් කරගෙන මොනවද කරනවා. තව කොටහක් ෆ්ලෑශර් ගහං ෆොටෝ ගන්නවා, තව කොටහක් වීඩියෝ කරනවා, පොඩි උන් එක්කං ආපු අය පොඩි අයට සිංහබාහු බෝරින් නිසා ෆෝන් එකේ ගේම් එකක් හරි යූ ටියුබ් වීඩියො එකක් හරි දාලා දෙනවා.

6.30ට පටන් ගන්න තිබුන නාට්‍යය 6.40 වෙනකොට වගේ පටන් ගත්තට මොකද හත විතර වෙනකම් උද්‍යෝගිමත් ප්‍රේක්ෂක ප්‍රජාව ඇතුලට එනවා. තිරය ඉස්සරහින් දුවනවා, සීට් හොයනවා, තමන්ගේ සීට් එකේ වාඩිවෙලා හිටපු අය එලවනවා, තව නාටකයක් එතන.

අපි ඉතින් කෙළෙස් තවපු මිනිස්සු නෙවෙයි. නාට්‍යය රස විඳින්න ආවට මොකද මේ වගේ බාධාකිරීම් නිසා සම්පූර්ණ අවධානය තිරය දිහාට යොමුකරන්න බෑ. ඒක සැබෑ ප්‍රේක්ෂකයාට කරන අසාධාරණයක්. වේදිකා නාට්‍ය කියන්නේ චිත්‍රපටියකට වෙනස් අත්දැකීමක්. ඔවුන්ගේ කටහඬ අහගන්න නම් රඟහල තුල නිහඬතාව උපරිමයෙන් රජයන්න ඕනේ. අවාසනාවට කොතරම් විශිෂ්ඨ නිර්මාණයක් උනත් මේ වගේ අශිෂ්ඨ ප්‍රේක්ෂකාගාරයක් එක්ක හිස් වචන ගොඩක් වෙනවා.

මේ ප්‍රේක්ෂක බහුතරය එක්කෝ මේ ගැන සංවේදී නෑ. නැත්නම් ඔවුන්ට ඒ ගැන හිතන්න තරම්වත් ශිෂ්ඨ උවමනාවක් නෑ. ඒ විතරක් නෙවෙයි මේකට රඟහල් කළමණාකාරිත්වය පවා වග කියන්න ඕනේ. මොකද ඔවුන්ට වගකීමක් තියෙනවා මුදල් ගෙවා නාට්‍යය රස විඳින්න එන ප්‍රේක්ෂකයට ඒ මුදලට නිසි වටිනාකමක් දෙන්න.

සාමාන්‍යයෙන් සිනමා ශාලාවකට ගියාම පොප් කෝන් දෙන්නේ කඩදාසි ගොට්ටකට. නමුත් ටවර් රඟහලේ ආපනශාලාවේ තියෙන්නේ පොලිතින් කවර ඇතුලේ දාපු පොප් කෝන්. රඟහල ඇතුලේ මේ වගේ විස්සක් තිහක් චර බර ගගා කනකොට ඒ හොඳටම ඇති දෙබස් නෑහෙන්න, අවධානය බිඳෙන්න.

අනික රඟහල ඇතුලට ආහාරපාන ගෙනයාම තහනම් කියලා දැන්වීමක් තිබියදී ඒක දැක දැක ඇතුලේ පොප් කෝන් කන්නේ, මයිලෝ බොන්නේ මේ එන ප්‍රේක්ෂකයෝ සාක්ෂරතාව නැති පිරිසක් නිසාද? ඒ වගේම බෝඩ් කෑල්ල දැම්මට මදි, ඒක ක්‍රියාත්මක කරන්න රඟහල් පාලනාධිකාරිත්වය පියවර ගන්න ඕනේ. ටවර් රඟහල කියන්නේ වේදිකා නාට්‍යයේ මුදුන් මල්කඩ වගේ. එතනත් මෙහෙම නම් අනෙක් රඟහල් වල තත්වය කොහොම ඇතිද?

ඒ වගේම නාට්‍යය ඇරඹුනාට පසුව කිසිවෙකුත් ඇතුල් නොකර ගත යුතුයි. සොරි, අපි ඉන්නේ ලංකාවේ. ඒ නිසා ඒක ගැන කතා නොකර ඉමු. විහිළුවක් වෙනවා.

ඒ වගේම තමයි ජංගම දුරකතන, කැමරා සියල්ල ක්‍රියාවිරහිත කරන්න නීතියකුත් තිබිය යුතුයි. අවාසනාවට නිදන ඇඳ උඩ වෙන දේ පවා ජංගම දුරකතනයෙන් රෙකෝඩ් කරන ජාතියක් වශයෙන් මෙව්වා කොච්චර දුරට ප්‍රායෝගික වෙයිද?

තායිලන්තයේ තියෙනවා බොහොම ජනප්‍රිය සංදර්ශනයක් Siam Niramit Show කියලා. මේක ගිනස් වාර්තා පවා තියපු ෂෝ එකක්. මෙතන රඟහලට ඇතුල් වෙන්න කලින් දැන්වීම් පුවරු වල සටහන් කරලා තියෙනවා ආහාරපාන, කැමරා, ජංගම දුරකතන හෝ මොනයම් ආකාරයේ බාධාවක් ඇතිකරන මෙවලමක් භාවිතා කිරීම තහනම් කියලා.රඟහල් සේවක ප්‍රජාව ප්‍රේක්ෂකයෝ මේ නීති කඩනවද කියන එක ගැන බොහොම විමසිල්ලෙන් ඉන්නේ. මේ දර්ශනය බලන්න ගිය වෙලේ අපේ කණ්ඩායමේ හාදයෙක් ෆෝන් එක සයිලන්ට් දාගෙන හිටියා. දර්ශනය පටන් ගන්නවත් එක්කම මිනිහට කෝල් එකක් ආවා. තත්පර දෙකක් ගියේ නෑ. කොළ පාට ලේසර් එකක් උන්නැහේට එල්ල උනා. ෆෝන් එකේ තිරයේ එලිය නිවෙනකම් අර ලේසර් එක නිවුනේ නෑ.



අන්න එහෙමයි ඒ මිනිස්සු අපි ගෙවන මුදලට වටිනාකමක් දුන්නේ.ඉතින් පොඩ්ඩක් කල්පනා කරන්න. මීළඟ පාර ඔහොම තැනකට යනවා නම් යන්න කලින් මොනව හරි කාලා, චූ දාලා එහෙම ඇතුලට යන්න. මොකද ඔතන ඉන්න පැය දෙකට හාමතේ මැරෙන්නේ නෑනේ. ඒ වගේම තමන්ගේ ෆෝන් එක ඒ වෙලාවටත් ඕෆ් කරගන්න. හොර ගමනක් ඇවිත් නෙවෙයිනේ. වෙලාවට ටිකක් කලින් එන්න. එතකොට කාට කාටත් අවහිර වෙන්නෙත් නෑ.

මොන තරම් විශිෂ්ඨ නිර්මාණයක් උනත් රස විඳින්න බෑ ප්‍රේක්ෂකාගාරයේ ඉන්න ඔබ අශිෂ්ඨ නම්. අන්න ඒක මතක තියාගන්න.

7 comments:

  1. //මේ ප්‍රේක්ෂක බහුතරය එක්කෝ මේ ගැන සංවේදී නෑ.
    නැත්නම් ඔවුන්ට ඒ ගැන හිතන්න තරම්වත් ශිෂ්ඨ උවමනාවක් නෑ.//
    දෙකෙන් එකක් නෙමෙයි ඔය දෙකම!!

    ReplyDelete
    Replies
    1. ඕකේ බාගයක් වගකීම රඟහලත් ගන්න ඕනේ ඉතින්. ඒ උනත් මිනිස්සුන්ට හැසිරන හැටි ඉස්කෝල වලින්ම කියලා දෙනවනේ. ඇයි බැරි

      Delete
  2. ලයනල් වෙන්ටඩ් එකේ මීට වඩා සෑහෙන හොඳ තත්ත්වයක් තියෙන්නෙ. එතනට එන්නෙ නාට්‍ය බලන්නම එන සෙට් එකක්.

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවන්. මෙතන ඉතින් අර ගොඩක් අය රැල්ලට එන පිරිසක් තමයි. මේ දර්ශනයත් Proud to eatch Singhabahu වගේ ස්ටේටස් එකක් දාගන්න ආපු උන්ගෙන් පිරිලා තිබුනා කියලයි මටත් හිතුනේ

      Delete
  3. Film ekak balanna giyath ochchara thama. Wade kiyanne oya wage wada karanneth ara hena wiplawakarayo kiyala hithan inna unmane.

    ReplyDelete
    Replies
    1. Ape minissu attitudes hadagannakam kawadawath quality kiyana eka apita experience karanna wenne ne

      Delete
  4. ප්‍රේක්ෂකයන්ගේ වරද. ඔවුන් දැනගන්න ඕනෙ හැසිරෙන්න ඕනේ විදිය. "හැසි" කෑල්ල අමතක වෙනවනේ තැනකට ගියාම අපේ අයට. ඒත් පහුගිය දවස්වල රාජ්‍ය නාට්‍ය උලෙලේ නාට්‍ය දෙකක් බලන්න ගියා. ඉඩක් නෑ ඒ තරම් සෙනග. හැබැයි බලන්න ආපු අය නිර්මාණයකට ගරු කරන්න ඕන විදිය දැනගෙන හිටියා. තවත් පැත්තක්, වේදිකා නාට්‍ය මිනිස්සුන්ට අමතක වෙලා තියෙන කාලෙක බලන්න එන එකා දෙන්නට මොකුත් කියලත් බෑ.

    ReplyDelete