Google+ හිතවත්තු

Tuesday, September 8, 2015

38. ඉස්කෝලෙට සපත්තු....

සෙනසුරාදා උදේ පටන්ගන්නේ ඔෆීස් යනවටත් වඩා වැඩ ගොඩක් කරගන්නයි. උදේ අට නවය වෙනකොට පොඩි එකාව නිදිකරලා අම්මට බලාගන්න කියලා දෙන්නම බයිසිකලේ නැගලා ටවුමට පදින්නේ සතියට ඕනේ කරන එළවළු, මාළු හා අනෙක් අඩුම කුඩුම ටික ගන්නයි. ඔහොම පැයක් දෙකක් ගත කරලා ත්‍රීවිල් එකක බඩු DIO එකේ පටවන් දෙමහල්ලෝ ඉක්මණට ගෙදර එනවා දඟ කොළුවව අම්මට තනියෙම ආම්බාම් කරන්න අමාරු නිසා.


ගෙදර ඇවිත් අත පය හෝදගෙන බඩු ටික අඩුක් කරලා, දරුවට යෝගට් එකක් කවලා මමත් උදේට කන්න කඩල ටිකක් බෙදාගත්තා විතරයි, ඔන්න කවුදෝ මන්දා ගේට්ටු පියන ටං ගාලා පන්නපි. මහන්සි අරින්නවත් නොදී කවුද වධ දෙන්න එන එකා කියලා බැලුවම කළු වෙච්ච, තෙහෙට්ටුවෙන් පිරුණ පුංචි දුවෙකුගේ මූණක්….

“මහත්තයා, පොඩි උදව්වක් කරන්න පුළුවන්ද?"

අර විඩාපත් බැල්ම එක්කම පුංචි එකී මගෙන් ඇහුවා. මහත්තයා කියනකොටම මගේ පපුව දාලා ගියා.

“ඇයි දුවේ, මොකක්ද ඔයාට ඕනේ උදව්ව?”

“මට ඉස්කෝලේ යන්න සපත්තු දෙකක් ගන්න පොඩි ආධාරයක් කරන්න පුළුවන්ද?”

එතකොටම එතනට ආපු ඩොටීයි අම්මයි මමයි තුන් දෙනාම මුණට මුණ බලාගත්තේ හිතට දැනුන දුක කියාගන්න බැරිව. පොඩි දුවෙක් සපත්තු දෙකක් ගන්න ගෙන් ගෙට ගිහින් සල්ලි ඉල්ලනවා කිව්වම…

“සල්ලි එකතු කරන්න ඕනේ නෑ. අපි ඔයාට සපත්තු දෙකක් අරන් දෙන්නම්….” 

එහෙම කිව්ව අපි ඒ දරුවට ගෙයින් වාඩිවෙන්න කියලා කකුලේ මිමි ගත්තා හවස් අතේ සපත්තු දෙකක් ගෙනත් දෙන්න. ඒ අතර ඩොටී පොඩි එකාට එකතු කරපු, පොඩි එකාට හම්බු වෙච්ච පැන්සල්, පොත්, මකන කෑලි, ප්ලැටිග්නම්, පාට කූරු ජාති ලස්සන බෑග් පොඩ්ඩකට දාලා දරුවා වෙනුවෙන් ලෑස්ති කළා.

“පුතා උදේට කාලද ඉන්නේ?"

අම්මා අහපු ප්‍රශ්නෙට උත්තර නොදීපු පොඩි එකී ලජ්ජාවෙන් බිම බලාගත්තා. උත්තරේ තේරුම්ගත්ත අපි ටක් ටක් ගාලා ඒ දරුවට උදේ හදපු කඩල කන්න ලෑස්ති කළා. කඩල කාලා ඉවර උනාම ආනමාළු කෙසෙල් ගෙඩියකුයි බිස්කට් දෙකකුයි දරුවා ලඟින් තිබ්බා. කෙහෙල කාපු පොඩි එකී බිස්කට් දෙක ඔතාගන්න කොළ කෑල්ලක් ඉල්ලුවා. කාටවත් නෙවෙයි අක්කගේ පුතුට ගෙනියන්න. අපේ ඇස් වල කඳුළු. ඒ බිස්කට් දෙකම දුවට කන්න කියලා, අළුත්ම බිස්කට් පැකට් දෙකකුත් ඔතලා දුන්නා ගෙදර ගිහින් කන්න. කාලා, තේ බීලා ඉවර උනාම අපි ඇහුවා ඒ දුවගේ විස්තරේ.

මේ දුව ඉගෙනගන්නේ අපේ ගෙවල් වලට ටිකක් එහායින් තියෙන පොඩි ඉස්කෝලෙක නවය වසරේ. ඇගේ මවට කලින් විවාහයට දාව අයියෙක් හා අක්කෙක් ඉන්නවා. ඒ විවාහය ඇත ඇරලා දෙවැනිව කසාද බැඳගත්ත පුරුෂයාගේ දුව තමයි මේ. මේ දුව පොඩි කාලෙදිම ඇගේ තාත්තා අසනීප වෙලා මිය  යනවා. එතැනදී තනිවෙන මේ දරුවෝ ටික අත ඇරලා ඇගේ අම්මා තව විවාහෙකට යොමු වෙනවා.

නිසි අවධානයක්, ආදරයක් නොමැතිකමෙන් තනිවෙන මේ දරුවෝ තුන්දෙනාගෙන් අක්කා අවුරුදු 14දී කසාද බඳිනවා. දැන් ඇයටත් එක වසරේ පුතෙක් ඉන්නවා. මේ දුවත් ඒ දුවත් රැක බලාගන්නේ අක්කගේ මහත්තයා. ඔහුත් කුලී වැඩ කරන්නෙක්. නිශ්චිත ආදායමක් නැතිව දරුවෙක් හා බිරිඳ රකින ඔහුට මේ දරුවා ගැනත් බලන්න වෙලා. ඒ මදිවට ඔහුගේ අම්මත් ඒ ගෙදර. අපිට තේරුම් ගිය විදිහට ඔහුගෙනුත්, ඔහුගේ අම්මගෙනුත් මේ දරුවට කෙනෙහිලිකම්, එහෙම නැත්නම් පල නොකියා පළා බෙදීම් සිද්දවෙනවා. දරිද්‍රතාවට මිනිස්සු අසරණ වෙලා. අපේ ගෙදරට ඇය එන වෙලේදී ඇය අවසාන වරට ආහාරයක් අරන් තිබ්බේ ඊට කලින් දවසේ දවල්ට. මොන තරම් දුක්මුසු තත්වයක්ද? අපි කොච්චර නම් කුණු මළු වල පුරෝලා ඉඳුල් කෑම විසිකරනවා ඇද්ද?

ඉතින් හවස අපි ඇගේ ගෙදෙට්ටම සපත්තු කුට්ටම ගෙනත් දෙන්නම් කියලා පොරොන්දු උනා. අපි තුන්දෙනාටම වැඳලා ඒ දුව යන්න හදන කොට තමයි ඈ දාගෙන ආපු මිරිවැඩි සඟල අපි දැක්කේ. පොඩ්ඩක් පාට අඩු වෙච්ච හැටියේ සෙරෙප්පු දෙක කුණු කුඩේට විසික් කරන සමාජෙක ඇය දාගෙන ආපු සෙරෙප්පු කුට්ටමට තව දුරටත් සෙරෙප්පු කුට්ටමක් කියන්න පුළුවන් කමක් තිබ්බේ නෑ.



අරගත්තට පස්සේ එකම එක පාරක් විතරක් දාපු සපත්තු කුට්ටමකුයි, සැන්ඩ්ල්ස් කුට්ටමකුයි ඩොටී ඒ දුවට දුන්නේ එවෙලේ අළුත් එකක් අරන් දෙන්න තරම් පුළුවන්කමක් නොතිබ්බ නිසා. රබර් කබල වෙනුවට සැන්ඩ්ල්ස් කුට්ටම කකුලට වැටෙද්දී ඇයට ආවේ පුදුම සතුටක්. ඒ අහිංසක හිනාව දැකලා අපිටත් සතුටක් ආවා.

දරුවා ගියාට පස්සේ අපි ආයෙම පාරක් ටවුමට ගිහින් අළුත් සපත්තු කුට්ටමයි, මේස් කුට්ටම් දෙකකුයි ගත්තා. හොඳ වැඩක් කරන්න යන නිසාද මන්දා DSI එකෙන් ඒ ගත්ත බඩු වලට කෑම පෙට්ටියකුත් නොමිලේ දුන්නා. ඔය තෑග්ගට අමතරව පොඩි ඇඳුම් කෑල්ලක් දෙකක් අපි ඒ දරුවට අරගත්තා. ඉතින් ඒ ඔක්කොම ටික ඒ දරුවට දුන වෙලේ ඒ ඇස් වල තිබුනේ පුදුම සතුටක්. අළුත් ඉස්කෝලේ වාරයට ඒ දුව අළුත් සපත්තු කුට්ටම දාගෙන ආඩම්බරෙන් යනවා ඇති. අපිට ඒ ගැන හරි සතුටුයි.

ඒ වගේම අපි ඇයට පොරොන්දු උනා ජනවාරි පාසල් වාරයට අළුත් ගවුම් දෙකක් මහලා දෙන්න. ඒ විතරක් නෙවෙයි, පොත් ලැයිස්තුවත් අරන් දෙන්න. අපි මහ පොහොසත්තු නෙවෙයි, තනි පඩියෙන් ලෝන් ගෙවාගෙන ජීවත් වෙන සාමාන්‍ය මිනිස්සු. එත් අපිටත් වඩා අසරණ මිනිස්සු කොටසක් ඉන්න නිසා ඒ කවුරු හරි වෙනුවෙන් පොඩි දෙයක් හරි කරන්න ලැබිච්ච එකම ලොකු සතුටක්. 

අපි තුන්දෙනා මේ කරපු දේ ගැන Facebook  එකේ මම පොඩි පෝස්ට් එකකුත් දැම්මා. ඒක දැකපු මගේ පොඩි කාලේ යාළුවා ගයාන් කුමාරත්, ටික කලකට කලින් අදුන්ගත්ත මනික් නාකන්දල සහොත් ජනවාරි උදව්වට හෙල්ප් එකක් දෙන්න සෙට් උනා. උඹලා දෙන්නටත් ගොඩක් ස්තූතියි.

දෙමාපියෝ උනාම දරුවෝ ගැන හිතලා වැඩ කරන්න. දරුවෝ නන්නත්තාර කරලා තමන් ලබන සතුට මොකටද? මේ වගේ දරුවෝ අසරණ උනාම අන්තිමට නතර වෙන්නේ කොහෙන්ද? සමාජයෙන් අන්තිමට බැණුම් අහන්නෙත් ඒ අහිංසක දරුවොමයි. වැඩිහිටියන්ගේ පාප කරුම නිසා දුක් විඳින්නේ දරුවෝ. මේ වගේ අහිංසක දරුවෙක් පාර තොටක මුණගැහුනත් ටිකක් ඇහැ කණ දාලා බලන්න පුළුවන් නම් ලොකු දෙයක්. මේ වරත්තු දේශපාලකයෝ එකෙක්වත් අපි ගැනවත් අපේ දරුවෝ ගැනවත් හිතන්නේ නැහැ. එහෙව් එකේ අපිට පුළුවං විදිහට අපිවත් මොනවා හරි කරමු.

මේ මාසේ පඩි ගත්තමත් තව පොඩි දෙයක් කරන්න හිතං ඉන්නවා තවත් අසරණ දරුවෙක් වෙනුවෙන්. ඒ ගැන කියන්න ආයේ එනකම් පුළුවන් නම් රුපියල් සීයකින් හරි අසරණ දරුවෙක් වෙනුවෙන් මොනවා හරි කරන්න.


පුංචි පුතේ
පුංචි දුවේ
ඔවැනි පුතෙක් 
මටත් ඇතේ..
ඒ පුතුටත් 
මේ නුඹටත්
රජ මැදුරක රජ පුතුටත්
වෙනස් ලෙසට 
සළකන්නට
ඇයි දෛවය කුරිරු උණේ....?



ඡායාරූපය උපුටාගත්තකි. ඡායාරූප ශිල්පිනිය මෙලොව කුරිරු බවින් අප හද සසල කරයි...

https://www.facebook.com/ngocbich.hathi/posts/1619274664998232

31 comments:

  1. ඔව් ඒ හිතේ සතුටු සදාකල් රැදේවි..

    ReplyDelete
    Replies
    1. අනිවා දේශෝ. ඒ හින්දමනේ මේ පිං පොතේ කොළයක් ලියැවුනෙත්..

      Delete
  2. දෙමාපියන්ගෙ වැරදි හින්ද කොච්චර ඔය වගේ දරුවො දුක් විඳිනව ඇත්ද?
    දුප්පත් උනත් ඉගෙනගන්න ආසාවක් තියෙන ඒ දරුවට කරපු උපකාරයෙ වටිනාකම කියල නිම කරන්න බෑ.

    ReplyDelete
    Replies
    1. ඒ දරුවා පන්තියෙ 24 වෙනියා. අපි කිව්වා පන්තියෙ තව හොඳට ඉගෙනගත්තොත් අපි තවත් උදවු කරන්නම් කියලා. බලමු වෙනසක් වෙයිද කියලා Praසන්ன අයියේ..

      Delete
  3. උතුම් පුණ්‍ය කටයුත්තක්... නුඹට බොහොම පින්.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලින් අයියේ...

      Delete
  4. බොහොම වටින වැඩක් ගලේ!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බස්සියේ...එනිවේ බස්සද තාම උයන්නේ?

      Delete
  5. අපිත් මේ සතියේ ඔය විදිහේම වැඩකට ලෑස්ති වුණා.... හැම කෙනා සතුව ම මේ වගකීම තියෙනවා.... අැත්තට ම හැකි පමණින් දුප්පතුන්ට උදව් කිරීම වැදගත්... මොකද සල්ලි කියන දේ අද තියෙනවා හෙට නෑ..

    ReplyDelete
    Replies
    1. අපි පොදු හැඟීමෙන් මෙව්වා කළාට අපිට වඩා කරන්න පුළුවන් උදවියයි, එව්වා කරන්න පත් කරපු ගස් බල්ලොයි ඔහේ ඉන්නවනේ අෆ්ෆා...

      Delete
  6. වෙන්න ඕන ඔන්න ඔය වගේ දේවල් තමයි.. මහ ලොකු දේවල් කරනවට වැඩිය අවශ්‍යතාව තියෙන කෙනාට ඒ ඕන දේ දෙන එක ඒ කෙනාටත් අපිටත් ඇත්තටම සතුටක්..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම,, සමහර වෙලේට සමහර දෙයක් අපිට ලොකු නූනට වෙන කෙනෙක්ට ඒක මහමෙරක් වගේ...

      Delete
  7. උඹට මගේ උත්තමාචාරය !!!

    ReplyDelete
  8. හොඳ මිනිස්සු තවමත් මේ ළෝකේ ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් මාතලන් අයියේ. වෙලා තියෙන්නේ හොඳ එව්වො ජීවත් වෙන්න ලොකු අරගලයක් කරන එකයි. ඒක නිසා හොඳ වැඩක් කලත් පේන්නේ නෑ.

      Delete
  9. තවත් අයෙකුට හිනාවක් දෙන්න පුළුවන් නම් ඒ තමයි උතුම් ම දේ....

    ReplyDelete
    Replies
    1. අනිවා නාඩියා. මට තව්ම මතකයි ඒ අහිංසක හිනාව

      Delete
  10. මේකනම් ඉතා හොඳ වැඩක්... ඔබ පවුලට ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම තුති බණ්ඩා මහත්තයෝ

      Delete
  11. ඉතාම හොඳ වැඩක්. උණුවෙන හිත් ඇති ඔබලා වාසනාවන්තයි. මේලෝකේ හරි ඔනම රටක හරි, ඉහලම ස්තරයේ ඉන්න 10% ට පුළුවන් ඇඟට නොදැනී පල්ල්ලෙහාම ඉන්න 20% ට කන්න , අඳින්න, ඉන්න හිටින්න දෙන්න. එහෙම නොවන නිසා මෙහෙම දෙයක් කරන්නවත් අපිට ලැබෙන අවස්ථාව පැහැර අරින්න හොඳ නැහැ

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම. අපිටත් එවෙලේ රුපියල් 20ක්, 50ක් දීලා ශේප් වෙන්න පුළුවන්කම තිබුනා. ඒ උනාට ඒ දරුවා කොයි තරම් අනාරක්ෂිත ගමනක්ද යන්නේ ගෙන් ගෙට? පසුම්බිය මාසෙට බැලන්ස් කරන් ජීවත් උනත් ඒ ළපටි ආසාව වෙනුවෙන් දෙයක් කරන්නම ඕනේ උනා. මං හිතන්නේ ඒ දේ කළා කියලා අපි මේ මාසෙ නොකා නොබී මැරෙන එකක් නැහැ...

      ඉයන් බොහොම ස්තුතියි දිරියට!

      Delete
  12. අහම්බෙන් ආවේ. ඔබ ඇතුළු සියලු දෙනාම දායක වී ඇත්තේ අති උත්තම කටයුත්තකට. අතිශයින්ම ප්‍රශසනීයයි. ජයවේවා

    ReplyDelete
  13. උදවුවක් කරන්න සුදුසු කෙනෙක් හම්බවෙනව කියන්නෙ වාසනාවක්..

    මේවගෙ කෙනෙක්ට උදවුවක් කරනව කියන්නෙ මතු පරම්පරාවටත් පලදෙන පිනක්

    ගොඩක් ලැබුනහම, පෝසත් උනහම අනික් අයට උපකාර කරන්න බලාඉන්න මිනිස්සුන්ට මැරෙන දවස වෙනකම්ම ඒක කරන්න වෙන්නෙ නෑ..!

    ReplyDelete
    Replies
    1. //ගොඩක් ලැබුනහම, පෝසත් උනහම අනික් අයට උපකාර කරන්න බලාඉන්න මිනිස්සුන්ට මැරෙන දවස වෙනකම්ම ඒක කරන්න වෙන්නෙ නෑ..!//

      මෙන්න මේක නම් සහතික ඇත්ත.පුළුවන් විදිහට රුපියල් 100ක් දෙන එක වටිනවා පෝසත් වෙලා ප්‍රශ්න ඔක්කොම විසඳන්න හිතනවට වඩා

      Delete
  14. ඉතාමත් උතුම් සත් ක්‍රියාවක්. මටත් පුලුවනිද ඔය සත්කාරයට සම්භන්ධ වෙන්න. ලොකු මුදලක් නොවුනත් මේ දරුවට පොතක් පතක් ගන්න හරි උදව්වක් පුළුවන් වෙයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.. අපි කීප දෙනෙක් ජනවාරි වල පොඩියට දෙයක් කරන්න හිතං ඉන්නවා. මම ඔබතුමාව අමතන්නම් දෙසැම්බර් මුල.

      Delete
    2. අනිවාර්යෙන්ම කියන්න. ස්තුතියි පුණ්‍යකර්මයට මාවත් සම්භන්ධ කරගන්නවාට..

      Delete
  15. ගොඩාක් දවසකින් බ්ලොග බැලුවේ. මට ඇඬුනා මේක කියවලා. ජනවාරියෙ මාත් සෙට් වෙන්නම්.

    ලංකාවේ කැම්පස් එකක ඉන්න මගේ පොඩි වැඩකට උදව් කරන මලයෙක් මට කිව්වා ඒකා බී.ඇම්.අයි.සී.ඇච් එකේ තියන පොත් ප්‍රදර්ශනේ ස්ටෝල් එකක වැඩ කරන්න යනවා කියලා. හේතුව දන්නවද?? නොවැම්බර් ඉඳන් උන්ට ජොබ් වලට යන්න ඕනලු. ඒත් පොර ලඟ ඇඳුම් නෑ ලු. මට කියනවා මෙන්න මෙහෙම.. "මගේ ලඟ ඇඳුම් නෑ අයියා. ජොබ් එකකට යනවා නම් ඇඳුම් 4ක් වත් ඕනනේ. ඒකට සල්ලි හොයා ගන්න පොත් ප්‍රදර්ශනේ වැඩට යනවා."

    මට ඒක ඇහුවම පිස්සු හැදුනා. මන් හිතුවා පොරට කොහෙන් හරි වවුචරයක් දෙන්න. පොරට මං ඒක කිව්වෙ නෑ. ලබන මාසෙ දෙන්න ඕන.

    ඔන්න සිරි ලංකාවෙ තත්වෙ. ඔව්වා මොනාද බං අපි කැම්පස් එකෙන්, ඉගෙන ගන්න වැඩකට ඩේටා එකතු කරන්න ආවෙ කිව්වම ගෙදර මොකෙක්වත් නෑ කියන මේ රටේ සල්ලි වලින්ම ඉගෙන ගත්තු පාහර දොස්තරලා ඉන්න රටක් බං මේක.

    එහෙව් රටේ උඹ විශිෂ්ටයි සහෝ....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මචෝ. උඹ කියපු දේ ඇත්ත බව අපිත් අත්දැකීමෙන්ම දන්නවනේ බං. අර මනුවර්ණයා කිව්වා වගේ වෙලාවකට මේ රට කාළකණ්නි ඩිස්නිලන්තයක් තමයි

      Delete