Tuesday, May 5, 2015

34. වෙසක් (දන්සැල්) කතා | Wesak Stories

අවුරුද්දේ රස්නේ ඉවර වෙන්නත් නොදී වෙසක් සතිය පටන්ගත්තා. වැස්ස අස්සෙම වෙසක් සතියත් ඉවරවෙන්නත් එනවා, කිසිම ලල් එකක් නෑ මේ පාර. කොහොම හරි කරලා කූඩු තුන හතරක් අටවන්, බල්බ් වැල් දෙක තුනක් ඇදගත්තා පොඩි එකාට වෙසක් සිරිය පෙන්නගන්න. තොරණක්, පහන් කූඩුවක් පෙන්නන්න පාරට බැස්සම තමයි සෙනග දැක්කේ. අනේ අම්මේ, බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔජ වැඩුන බහුතරයක් වැස්සෙම ගල් රූප වගේ නොසෙලී තෙමි තෙමි ඉන්නවා.....දන්සැල් කන්න!


වෙසක් උත්සවේ කියන්නේ බෞද්ධ අපිට තියෙන උතුම්ම, පූජනීයම උත්සවය. මම හිතන්නේ ලංකාවේ හැම තැනම ලස්සනට සැරසෙන්නේ වෙසක් උත්සවේට විතරයි. හැබැයි වෙසක් උත්සවය මේ වෙනකොට එක්තරා ආකාරයකට විනෝද උත්සවයක් බවට පත්වෙලාද කියලත් ඒ කාලෙට පාරට බැස්සම හිතෙනවා. සමහරු ඔළු බක්කෝ නටනවා, තව කට්ටිය වෙස් මූණු එල්ලන් විගඩම් කරනවා. තව වැඩ ගොඩයි. ඔය අස්සේ වෙච්ච රස වැඩ ටිකක් තමයි නිකම් ඉන්න වෙලේ ලියන්න හිතුනේ.

පළවෙනි කොටුව පින්වතුනි!

මේ කතාව වෙලා තිබුනේ අපි හොඳින් දන්න යාළුවෙකුගේ නැන්දා කෙනෙකුට. කස්ටිය ඔන්න වෙසක් බලන්න කොළඹ ඇවිල්ලා. දන්නවනේ ඉතින් වෙසක් කාලේ කොළඹ තදබදය. හිරවෙලා, තෙරපිලා, පණ ගිහිල්ලා අපේ යාළුවගේ කස්ටියත් වාහනේ හත් ගව්වක් දුර නවත්තලා වෙසක් බලන්න ගත්තලු. ඔහොම යනකොට අපේ යාළුවගේ නැන්දිට පොඩි මූත්‍රා බරක් හැදුනලු. වට පිට බැලු බැලු අත මහ සෙනග. ඉතින් කොහේ මූත්‍රා කරන්නද? තමිල්නාඩුවේ හිටියා නම් කිසි ගින්නක් නැතුව හිටගෙනම වැඩේ කරන්න තිබ්බා. ඒ උණාට ලංකාවේ අපි ඔය අවලම් ඉන්දියන් හැත්තට වඩා ඩීසන්ට් නිසා මුත්‍රා බොක්ක පැලුනත් වැදගත් ලෙස දරාගන්නවනේ. යාළුවගේ නැන්දා හිටියෙත් අමාරුම අඩියේ. මොකද කරන්නේ කියලා වට පිට බලද්දි මෙන්න ටිකක් එහායින් රථගාලක් තියෙනවා. ටක් ගාලා වෑන් එකක් පස්සට ගිය නැන්දා වට පිට කවුරුත් නැති තැන සැහැල්ලු වෙන්න කියලා පාත් උණා. රථගාලේ මේ වාහනේ නවත්තලා තිබුනේ මූණත පාරට විරුද්ධ දිහාට දාලා. ඉතින් නැන්දා ඉඳගත්තේ හරියටම කිව්වොත් වාහනේ ඉස්සරහ පැත්තේ. වැඩේ බාගයක් පහවෙද්දිම එක පාරටම වාහනේ හෙඩ් ලයිට්ස් පත්තු උණාලු. ඉතිරි ටික කියන්න ඕනේ නෑනේ…..

දෙවෙනි කොටුව පින්වතුනි!

දෙවෙනි කතාව උනේ මම ඇතුළු යාළු මිත්‍රයන්ට. හැබැයි ඒ මීට අවුරුදු දහයකටත් එහා. අපි ගියා බත් දන්සලකට වෙසක් බලන්න යමින් ගමන්. කෑම ටිකත් හොඳට තිබුනා. බත් එක්ක හාල්මැස්සෝ බැදුමක්, පරිප්පු, කොස් සහ තව මොනව හරි තිබ්බා.බත් කන අතරතුරේ දන්සලේ අයියලා අඩු වැඩිය බල බල බෙදනවා. අපේ යාළුවෙක් මේ අයියා කෙනෙක්ට කතා කරලා අඩුවක් ඉල්ලුවා,

“අයියේ, හාල්මැස්සෝ ටිකක් දෙනවද?”

මූණ අවුල් ගහපු අයියා කියනවා, 

“මල්ලි, හාල්මැස්සෝ නම් දෙන්නේ එක පාරයි. කොස් ඕනේද??”

මං හිතන්නේ අදටත් සමාජයේ ගොඩක් දන්සැල් මේ වගේ වෙන්න ඕනේ……එහෙම කිව්වට දන්සල් වලට යන සෙනගේ සීමවක් නෑ. එන්න එන්නම වැඩි වෙනවා. රුපියල් 2,500න් හොඳට කාලා ඉන්න පුළුවන් උණාට අපේ ඇත්තෝ වෙනසකට කැමති ඇතිනේ.

තුන්වැනි කොටුව පින්වතුනි!

අපේ ටවුමේ තිබ්බ අයිස්ක්‍රීම් දන්සලක් ගැනයි මේ තුන්වැනි කතාව. වෙසක් දවසේ බස් හෝල්ට් එකට වෙලා බස් එක එනකම් බලන් හිටපු සෙනග එක පාරටම සුලි සුලඟක් ආවා වගේ ළඟ තිබ්බ බැංකුව දිහාට තල්ලුවෙලා ගියා. බැලින්නම් එතැන බැංකුවෙන් අයිස්ක්‍රීම් දන්සැලක්. මිනිස්සු පොර කකා කෝන් වල දාපු අයිස්ක්‍රීම් කනවා. මිනිස්සුන්ගේ බඩගින්න (එහෙම නැත්නම් කෑදරකම ) දිහා බලාගෙන මමත් මගේ ගමන ගියා. අදාල වැඩේ ඉවර කරගෙන ආයේ ඒ පැත්තට එද්දි ෆුල් හොල්මන් දසුනක් එතැන. වටේ පිටේ ඉන්න එවුන් අයිස්ක්‍රීම් ටොපින් එකක් දාපු ක්‍රීම් කැකර් කනවා. මොකක්ද මේ ආතල් එක කියලා බලද්දි තමයි ආරංචි උනේ කෝන් ඉවරවෙලා ඒ වෙනුවට බිස්කට් උඩට අයිස්ක්‍රීම් දාලා කන්න දෙන විත්තිය. වෙරිම තමයි….

හතරවෙනි කොටුව පින්වතුනි!

හතරවෙනි කතාව ගැන ආරංචිය ගෙනාවේ අපේ බාප්පා කෙනෙක්. වෙසක් දාට පස්සේ දා අපි පවුලේ හැමෝම මුණගැහුනා පවුලේ උත්සවේකට. එදා හැමෝගෙම මාතෘකාව ඉතින් වෙසක් ගැන. කූඩු, තොරණ්, දන්සැල්, පහන් වැටවල් ගැන අපි කතා කරන අස්සේ බාප්පා කිව්ව කතාවට අපේ ඇඟ හීතල වෙලා ගියා. බාප්පා රාජකාරි වැඩකට හොරණ ගිහින් එද්දි බණ්ඩාරගම ටවුන් එක මැද්දේ එළු සුප් දන්සැලක් දෙනවලු. මොනවා උණත් බුද්ධ තෙමගුල දා සත්තු මරලා දන්සැල් දීම මහා පවක් නිසා අපි හැමෝම ඔය වැඩේ කරන්න ඇති කියලා සැක කරපු පාර්ශ්වයට අම්මමෝ කියලා බැන්නා. බණ්ඩාරගම ලොකු අම්මයි, මහප්පයි උත්සවේට ආවේ ටිකක් දවල් වෙලා. එයාලා ආපු ගමන් අපි ඇහුවේ ටවුන් එකේ වෙච්ච පඩත්තල වැඩේ ගැන ආරංචිද කියලයි. එළු සුප් දන්සැලක් කිව්වම දෙන්නත් හොල්මන් වෙලා ගියා. තිබුන ලොකේෂන් එක කොහෙද කියලා විපරම් කලාම අපි කිව්වා බණ්ඩාරගම පරණ බස් ස්ටෑන්ඩ් එකේ කියලා. ඒක අහපු ගමන් දෙන්නටම හිනා. අපි හොල්මන්! එයාලත් ඒ දන්සැලට ගිහින්ලු ඇවිත් තියෙන්නේ. හැබැයි ඒක එළු සුප් නෙවෙයි එළවළු සුප් දන්සැලක්ලු. බාප්පා බීලද හිටියේ කියලා බලන්න හැමෝම බාප්පව හොයන්න ගත්තා ඊට පස්සේ.

පස්වෙනි කොටුව පින්වතුනි!

පස්වෙනි කතාව උනේ මගේ බ්ලොග් එකේ රසිකාවියෙක්ට. එයාලා දන්සල් වන්දනාවේ යද්දී එක අවුරුද්දක හම්බුනාලු අයිස් ක්‍රීම් දන්සලක්. පොලිම දිග නැහැ 10 ක් විතර ඉන්න ඇති. කට්ටියම වාහනෙන් බැහැලා එතන පෝලිමට සෙට් වෙලා. කට්ටිය ඉන්න ඇති 15 ක් විතර. ඔන්න අපේ යෙහෙළියගේ පුංචි තමයි මුලින්ම. යෙහෙළිය හිටියේ අන්තිමට වගේ. කට්ටිය අයිස් ක්‍රීම් අරන් පෝලිමෙන් පැත්තකට යනකොට මෙන්න බොලේ පුංචි අයිස් ක්‍රීම් එකත් කකා පෝලිමේ හිටගෙන ඉන්නවා. ගානට අයිස් ක්‍රීම් එක ඉවර උනා ඉස්සරහට එද්දී. එතකොට ඔන්‍න‍ ආපහු අයිස් ක්‍රීම් එකක්. තුන් වෙනි පාරට එද්දී අයිස් ක්‍රීම් බෙදපු කොල්ලා කියපි,

"මිස් තුන් වෙනි පාර නේද එන්නේ" කියලා. 

පුංචි කියපි, 

"නෑ වතාවන් දෙකේදීම ආවේ මගේ අක්කා. මේ නංගි" 

අන්තිම කොටුව පින්වතුනි!

අපේ මල්ලිලා සෙට් එකත් ඔය වගේ අයිස් කිරිම් දන්සලකට ගොඩ වැදුනා. මරුමුස් අයියලා ටිකක් දන්සල ලීඩ් කරලා තියෙන්නේ. එක අයිස්ක්‍රීමක් කාලා දෙවෙනි එක කන්න එනකොට අයියලා කියනවලු,

“මල්ලි, එක පාරක් කෑවා නේද? ඒක නිසා හු******නේ නැතුව කැපෙනවද?”

අනේ සාදු!

23 comments:

  1. අපිටත් සැට් උනා දන්සැලක් මේ පාර..... බතුයි සාම්බාරුයි හර්ස්ච්න්ද්‍ර ක්ෂනිකනුඩ්ල්ස් සහ වම්බටු පෙති කපලා උයලා ආ අමතක උනානේ වට්ටක්කද කොහෙද ඉස්ම ටිකකුත් තිබුනා

    ReplyDelete
    Replies
    1. ඉඳලා ඉඳලා මැලේ රාළ ගිහින් තියෙන්නෙත් මරුම දන්සලක් හොයාගෙනනේ. හැබැයි දැන් දෙන සමහර දන්සල් නම් ෆයිව් ස්ටාර් හොටෙල් වගෙම දෙනවා නේද?

      Delete
  2. සඳුනිමා හතරවෙනි කොටුවේ වගේ තවත් එළු සුප් දන්සැලක් ගැන සිහිවෙලා එකවරටම හිනාවක් පැන්නා. ඒක නම් ඇත්තටම එ ළු සුප් දන්සැලක් හැටියට කියවුනේ කවුදෝ පණ්ඩිතයෙක් එළවළු වලින්ම හැඩදාපු අකුරු අලවපු දැන්වීම් පුවරුවක් නිසා. ටිකක් රෑ වෙන්න ඇරල කවුදො විසින් පුවරුවේ “ළව“ අකුරු ගලවා දාල තිබුණා. දන්සැල් කතා ලස්සනයි

    ReplyDelete
    Replies
    1. +MPP Gunasinghe

      බොහොම ස්තූතියි ආවාට සහ කමෙන්ටුවකින් දිරි දුන්නට...

      අර එලවළු සුප් දන්සලේ "එල" කෑල්ල අයින් කරලා තිබ්බා නම් එහෙම බලාගන්න තිබුනා කවුද බොන්න එන සෙට් එක කියලා.

      Delete
  3. මේ සැරේ දන්සැල් ටිකක් අඩුයි වගේ

    ReplyDelete
    Replies
    1. එහෙමත් එකක්ද? මම දැක්කේ ගොඩක්ම අයිස්ක්‍රීම් දන්සල් තියෙනවා කියලයි.

      ඉස්කොලේ කාලෙ ගියාට පස්සේ දන්සලකට ගිහිල්ලා නැහැ තවම.

      Delete
  4. ලයික්!

    ReplyDelete
    Replies
    1. චානක, ඔයා?

      බොහොම තුති!

      Delete
  5. බාප්ප එළු සුප් බීලද දන්නෑ එන්න ඇත්තෙ.
    අපිටත් මේ ගමන මාලිගාවිලදි සෙට් උනා නියම මඤ්ඤොක්ක දන්සැලක්. සෞඛ්‍යාරක්ෂිත බව ගැන සහතිකේකුත් එක්කම. මොකද අපි යනකොටම PHI මහත්තයත් ඔක්කොම චෙක් කරල මිනිහත් ඒකෙන්ම බෙදාගෙන කනව.

    ReplyDelete
    Replies
    1. අහ්, අපි දැක්කා අයියා බුකියේ ෆොටෝ කෑලි එහෙම එල්ලලා තියෙනවා මාලිගාවිල ට්‍රිප් එකේ.

      කවුද දන්නේ PHI එදත් සල්ලි ගත්තද කියලා වෙනදා වගේම...

      Delete
  6. ගල්පාත මචං....

    සුපිරි ලියැවිල්ල...නියමෙට ලියලා..සුපර්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අසංක. වෙලාවක් තිබුනම ඇවිත් බලලා යන්න.

      Delete
  7. අදයි දන්නේ ගල්පාත උන්නැහේ මේකේ ලියනවා කියලා. දැන් ඉතිං නම ගිරිපුර ගල්පාත කියලා වෙනස් කර ගත්තොත් මොකද ?

    නියම කථා ටික.

    ReplyDelete
    Replies
    1. මේ පැලේ නොවැ සුදීක අයියේ මෙච්චර කල්ම වැටිලා හිටියෙ. පහුගිය දොහේ පොඩ්ඩක් එහේ මෙහෙ උනා. ආයෙම අළු ටිකක් ගසා බසා දාලා එන්න තමයි මේ හැදුවේ.

      ගල්පාත එලියට ආවේ අන්තිම පේලියෙන්. ඒ නිසා අන්තිම පේලියේ (අ.පේ) ගල්පාත තමයි මං හැමදාම.

      Delete
  8. අන්තිම කතාවට තමයි හිනා ගියෙ... :-)

    ReplyDelete
    Replies
    1. කන්සෙප්ට් එකම වරද්දපු ඒ කතාවට තමයි බං හරි නම් අඬන්න ඕනේ.

      Delete
  9. දන්සලක් වැන්ද කාලයක් මතක නෑ බං..

    ReplyDelete
    Replies
    1. මමත් එහෙමයි දිනේෂ්. ඉස්කෝලෙ කාලෙන් එහා ගියෙම නෑ

      Delete
  10. නියම වෙසක් සංග්‍රහයක්. කොච්චර අඩු පාඩුවක් තිබ්බත් මම නම් හිතන්නේ දන්සැලක්, වෙසක් කූඩුවක්, තොරණක් නැති වෙසක් එකක් ඇඟට දැනෙයි කියලා. නිකම්ම තවත් පෝයක් වගේ ගෙවිලා යාවි.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත ඩූඩ් අයියේ. පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ මිනිස්සු වෙසක් බලන්න යනවා කියලා වැඩිම ප්‍රමුඛතාව දෙන්නේ දන්සැල් වඳින්නනේ.

      Delete
  11. හරිම රසවත්. ඔන්න ඔන්න ඉතින් මමත් ගල්පාතගෙ රසිකයෙක් උනාලු. මට ඔහේ ගැන කිව්වේ ඔහේගෙම අතිජාත මිත්‍ර කලාබර.

    ReplyDelete