Monday, June 15, 2015

35. පොලීසියයි සරසවියයි | Campus & Police

පොලීසිය එක්ක කැම්පස් එකේ තියෙන සහසම්බන්ධේ හරියට හොද්දට දාන ලුණු ඩිංග වගේ තමයි ඉතින්. කැම්පස් කොල්ලෝ කෙල්ලෝ ප්‍රශ්න වලට උත්තර හොයලා පාරට බහිනකොට තාවකාලික සහනයන් දෙන්න පෙරමුණ අරගෙන ඉස්සරහට එන්නේ පොලිස් රාළහාමිලා නොවැ. ගොඩක් වෙලේට කඳුළු ගෑස්  අරන් වතුර ගහලා හෝදලා ක්ලීන් කරලම තමයි ආයේ කැම්පස් යවන්නේ. කොල්ලොත් ඉතිං පොලිසියට දෙවෙනි නෑ, පුළුවන් තරම් වාත කරලා තමයි ආයේ යන්නේ. ඔය අතර නසරානියොත් කොච්චර ඉන්නවද?


මේ සිද්ධිය උනේ මගේ කැම්පස් යාළුවෙකුට. 2007 විතර ලංකාවේ ඔක්කොම කැම්පස් වල එකමුතුවෙන් මහා උද්ගෝෂණයක් දියත් උනා නිදහස් අධ්‍යාපනය රැකගනිමු කියලා. කවදත් උද්ගෝෂණ වලට තෝතැන්න වෙච්ච කොටුවේ ඉස්ටේසම ඉස්සරහ තමයි මේකත් දියත් උනේ. ඔන්න ඉතින් රට වටෙන් බස් වලින් ආපු කැම්පස් කොල්ලෝ කෙල්ලෝ සෙට් එකම අර ජනප්‍රිය සටන් පාඨ සෙට් එක මොරදිදී කෑගහනවා කොළඹ දෙදරන්න.

කපා කපා - කෑලි කපා
අප වලකනු - සිතනු එපා
ලේ හැලුනත්  - පාර දිගේ
අපේ ගමන - අපි යනවා

අපි යන්නේ - කොයි පාරේ
වෙනුර නිෂ්මි - ගිය පාරේ
අපි යන්නේ - කොයි පාරේ
ත්‍රිමා බාලා - ගිය පාරේ

SB ලොක්කට එන්න කියාපිය
මේවට උත්තර දෙන්න කියාපිය
VC ලොක්කට එන්න කියාපිය
බැරිනම් දාලා යන්න කියාපිය

ටික වෙලාවක් ඔය ජප මාලාව ඇහෙනකොට පොලිස් ලොක්කෝ ටික බුමිතෙල් ටැංකියේ වැටුන ගැරඬි පැටවූ වගේ දඟලන්න, කසන්න ගන්නවා. අන්න එතකොට පොඩ්ඩන්ට අණ දෙනවා ගහපියවූ වතුර කියලා. වතුර එක්කම පියාඹලා එන අනෙක් සංග්‍රහය තමයි කදුළු ගෑස්. එදත් මේ සංග්‍රහ දෙක නොඅඩුව ලැබුන දවසක්. සංග්‍රහය ඉස්මුරුත්තාවට වගේ එද්දිම අපේ යාළුවා (අපි කියමු අමිල කියලා ) අනෙක් සහෝදරවරු එක්කම කොටුවේ ඉස්ටේසම ඇතුලට පසුබැස්සා.

පොලීසිය එහෙම බාගෙට සංග්‍රහ කරන්නේ නැහැනේ. දෙන එක රම්පෙට පොරි රඹුට කැකිරි වෙන්නම දෙන්නම් කියලා ඉස්ටේසම ඇතුලටත් වතුරයි කඳුළු ගෑසුයි ගහන්න ගත්තා. අමිලගේ යාළු සහෝ ගෑස් ටින් දෙකක් ඇහිදගත්තේ ආයෙම පොලිසියට ගහන්න, හැබැයි වාසනාවට එවෙලේම පොලිස් සංග්‍රහය තාවකාලිකව විසන්ධි උනා. විරෝධතාවට ආපු  උනුත් තැන තැන සීසීකඩ විසිරිලා ගිහින්, ආපු බස් කොහෙද කියලා හොයන්නත් නැහැ. මොකද කරන්නේ කියලා හිත හිත අපේ සෙට් එකත් මැකලම් පාරේ සම්පත් බැංකුව ඉස්සරහට වෙලා වාඩියක් දාගත්තා.


විනාඩි පහයි ගියේ, එක පාරම නැවතුනේ පොලිස් ජීප් එකක්. ඇස් රතු කරන්, ලිඳෙන් ගොඩගත්තා වගේ වතුර නාලා ඉන්න හතරදෙනා දිහා බලපු රාළහාමි ජෝඩුව ප්‍රශ්නාවලිය දික් කරන්න ගත්තා.

“කොහෙද තමුන් යන්නේ?”

“අපි මේ බදුල්ලේ ඉඳන් ට්‍රේන් එකේ ආවේ රාළහාමි. මෙතනින් එනකොට වතුර ගහනවා, එව්වට තෙමුනා.”

“මම ඇහුවේ කොහෙද යන්නේ කියලා?” 

රාළහාමි ආයෙම ගෙම්බර් පාට් එක දැම්මා.

“දෙ..දෙල්කඳට රාළහාමි…”

“අපිත් යන්නේ එහෙට තමයි, නගිනවකෝ අපි ඇරලන්න.” 

බොහොම ආචාරශීලිව පිටිපස්සේ දොර අරින ගමන් රාළහාමි තෙපලුවා. ගැලවෙන්න විදිහකුත් නැති එකේ හතර දෙනාම කරබාගෙන ඇතුලට නැග්ගා. ඔන්න වාහනේ දැන් ඩාර්ලි රෝඩ් එක පැත්තට යද්දී රාළහාමි ජෝඩුව කතාවෙනවා ඇහෙනවා කුරුඳුවත්තේ පොලිසියට යන්න. අද නම් කොල්ලෝ සබ්බුව තමයි කියලා අමිලටයි සෙට් එකටයි පැහැදිලිවම වැටහෙන්න ගත්තා.

“මොකද බන් දැන් කරන්නේ?” 

අමිල අහනවා සෙට් එකෙන්.

“පොඩ්ඩක් හිටහන්, පොඩි වැඩක් තියෙනවා” 

කියපු එකෙක් කලිසම් සාක්කු දෙකටම අත දාලා ගත්තේ නැතැයි සිලි සිලියෙන් ඔතපු කඳුළු ගෑස් බුලට් දෙකක්.

“බුදු අම්මෝ, මෙන්න නයෙක්” 

කියාගෙන මේකා එක පාරම අර බුලට් දෙක දාපි ජීප් එකේ ඉස්සරහට. තත්පර පහක් යන්න කලින් ජීප් එක දුම් වලාවකින් වැහුනා. එලෝ මෙලෝ නොපෙනී ගිය ඩ්‍රයිවර් මාමා ජීප් එක එහෙට මෙහෙට කපලා ඩෝං ගාලා පාර අයිනේ තිබ්බ කාණුවකට වට්ටගත්තා. නැවතුනා විතරයි දොරවල් දෙක ඇරගත්ත රාළහාමි ජෝඩුව පණ එපා කියලා ජීප් එකත් දාලම දිව්වා. සමහර විට මුන් බෙල්ල මිරිකලා දායි කියලා බය උනාද දන්නෙත් නැහැ.

අපේ සෙට් එකත් එලියට බැහැලා දුම අඩුවෙනකම් හිටියා. බස් වල තෙත පිටින් යන්නත් බැරි එකේ ජීප් එකේම යමුද කියලා කතාවෙලා ජීප් එක කාණුවෙන් ගොඩගන්න හැදුවත් එරිලා තිබ්බ එරිල්ල දරුණු නිසා ඒ අදහස අත ඇරලා රෝද හතරෙම හුලං බස්සපු සෙට් එක එහෙම්ම ගාමිණි හෝල් එක පැත්තෙන් මරදානට පල්ලම් බැස්සා ආයෙම දවසක නිදහස් අධ්‍යාපනය රැකගන්න සෙට් වෙන බලාපොරොත්තුවෙන්.

*****

දෙවෙනි කොටස ලබන සතියට.....

16 comments:

  1. අම්ම්ට සිරි අන්ල පොරවල්. පොලිසියෙත් හුළං ඇරල.
    දවසකටත් කතාව ඒක තමයි.
    මට හිතා ගන්න බැරි අර කදුළු ගෑස් ටින් දෙක පොලිසියෙන් විසික්කල තියෙන්නෙ ආතල් එකටද කියල මොකෝ ඕක ඇදල ගැහුවට පස්සෙ යන දුම නවත්තන්නැයි.

    මොනා වුණත් ටිකක් හිනා වුණා

    ReplyDelete
    Replies
    1. ඌ කිව්වා බං වැටුන ගමන්ම මොකක්දෝ කරලා හොඳට කට ගැටගහපු ශොපින් බෑග් එකකට දාගන්න ඕනේ කියලා. එතකොට අර දුම බෑග් එක අතුලේ විතරයි තියෙන්නේ. බෑග් එක ඇරිය ගමන් වැඩේ පත්තුවෙනවා.

      Delete
  2. යකඩෝ මෙන්න මිනිස්සු.. දඩ සෙල්ෆි පරාදයිනේ යකූ...

    ReplyDelete
    Replies
    1. ඔයා කාලේ විතරයි දිනේෂ් ඔව්වා. ඊළඟට කැම්පස් එකෙන් එලියට ගියාම ඔතනින් බහුතරයක් එව්වෝ 4.15ට කොටුව ස්ටේෂන් එකට දුවන් එනවා ට්‍රේන් එක අල්ලන්න. එදාට කොල්ලෝ උද්ඝොෂන කරනවා දැක්කම උන්ට රිඹ යන්න බනිනවා.

      Delete
  3. යකෝ මුන් පොලිසියටත් කදුළු ගෑස් ගහල නේ..

    ඉස්සර පොලිසිය - කැම්පස් - ඇස.බී.. තුං කට්ටුවේ සම්බන්ධෙ තමා ආතල්ම...

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත සෑම්. එස්බී එක්ක ආතල් ගන්න අපිටත් චාන්ස් එක ලැබුනා

      Delete
  4. මේක අපි කිව්වොත් තොපිව එප්සීඅයිඩි එකට ගෙනේවි හරිද?? හැක්

    ඔය නිදහස් අධ්‍යාපනේ ගැන වැඩිම කැක්කුමක් තියෙන අය තමා පසුකාලිනව ඒකට වැඩිම බාල්දි පෙරලන්නේ. ඉතිහාසය සාක්සි දරනු ඇත.

    ReplyDelete
    Replies
    1. පහළ ඇනෝ කමෙන්ටුවකින් නම් ගම් එක්කම කියලා තියෙනවා දේශො

      Delete
  5. ලබන සතියට තියන්නෙ ඇයි සඳුනිමා ඉතිරි කොටස් හෙට ඉඳලම ලියන්න

    ReplyDelete
    Replies
    1. හම්මේ. ලිව්වෙත් අමාරුවෙන්. අද තමයි කමෙන්ට්ස් වලට උත්තර දෙන්නෙත්. ලබන සතිය කිව්වට ඒකත් ෂුවර් නැහැ.

      කොහොම උනත් මෙහෙම දිරි දෙන එකේ අනිවා ලියන්නම්

      Delete
  6. ඔකුන්ට ඔහොම තමයි කරන්න ඕනෙ. මොනා උනත් යාළුවා නම් සුපිරි බුලට් එකක්නෙ.

    ReplyDelete
    Replies
    1. පොලිසිය නම් කාටත් තිත්තයි බලන් ගියාම කැමරා සහෝ

      Delete
  7. පුද්ගලික විශ්ව විද්‍යාල විරෝධී අරගලයේදී වර්තමාන ජවිපේ නායක සෝමවන්ස අමරසිංහ විශාල වැඩ කොටසක් කලේය​. පුද්ගලික විශ්ව විද්‍යාල විරෝධී සෝමවන්ස අමරසිංහගේ පුතා අද දිනයේ ඉගෙනුම ලබන්නේ එංගලන්තයේ පුද්ගලික විශ්ව විද්‍යාලයකය​. පුද්ගලික විශ්ව විද්‍යාල වලට එරෙහිව එකල විමල් වීරවංස (විමලසිරි ගම්ලත්) විශාල හඩක් නැගුවේය. ඔහු සරසවි සිසුන්ට පන්ති පවත්වා පුද්ගලික විශ්ව විද්‍යාල විරෝධී අරගල වලට ඔවුන්ව යොමු කලේය​. අද දිනයේ විමල් වීරවංසගේ පුතා ඉගෙන ගන්නේ ස්කොට්ලන්තයේ පුද්ගලික විශ්ව විද්‍යාලයකය​. සරසවි සිසුන් පාරට බස්සවා සන්නද්ධ වියාපාරයකට ඔවුන්ව යොමු කල කුමාර් ගුනරත්නම් එවකට කර්නල්වරයෙකු වූ සරත් ෆොන්සේකාට සියල්ල වමාරා ඕස්ට්‍රේලියාවට පලා ගියේය​. ඔහුගේ දරුවන් දෙදෙනා තව නොබෝ කාලයකින් ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ආරම්භ කරනු ඇත​ (1)

    ReplyDelete
    Replies
    1. ඕක නම් සර්වකාලීන් සත්‍යයක් ඇනෝ. මට හිතෙනවා ඒ ගැන මම කැම්පස් ගිය වෙලේ දැක්ක, ලබපු අත්දැකීම් ගොන්නත් එකතු කරන්න. එතනත් ඔය නායකයෝ කියන ගොඩක් එවුන් කලේ පඩත්තලකම් ම තමයි. අන්තිමට කොහොම හරි ශේප් එකේ විබාග ගොඩ දාගන්නව ලෙචාලට හේත්තුවෙලා.

      Delete
  8. ඒ කාලයේ මේ විරෝධාතා වලට තිරය යට සිට සහය දුන් එස්. බී දිසානායක ඔහුගේ පුතුන් දෙදෙනා උසස් අධ්‍යාපනය සඳහා යැව්වේ ඕස්ට්‍රේලියාවේ මොනෑශ් විශ්ව විද්‍යාලයටය​. මෙවැනි අරගල වීදි සටන් වලට සැමදා ආවඩන හිටපු ක්‍රම විරෝධියෙකු මෙන්ම අධිරාජ්‍යවාදී විරොධීයෙකු වූ වාසු තමගේ පුතා අධ්‍යපනය සඳහා යොමු කලේ ඇමරිකාවේ පුද්ගලික විශ්ව විද්‍යාලයකටය​. පද්මසිරි ත‍්‍රීමා විතාන, වෙනුර එදිරිසිංහ, අතුල සේනාරත්න, සරත් කොල්ලූරේ යන සිසුන් ෆෝම් කරවා ඔවුන්ව මර්ධනකාරී වෘකයන් වෙත ගොදුරු පිණිස දැමූ දේශපාලකයන් හා සිසු නායකයන් අද දිනයේ ක්‍රම සහ විධි වලින් යහමින් මුදල් උපයන බඩ තඩි මුදලාලිලා බවට පත් වී තිබේ. ස්වයං වරදකාරී බවින් මිදීමට මොවුන් බොරුවට වසරකට වරක් මේ බිලි බෝයිස්ලා අනුස්මරණයට ඉටිපන්දමක් දල්වා ලේ රත් වන කතාවක් කොට විසිර ගොස් යලි ලබන වසරේ අනුස්මරණ දිනයක් එන තෙක් හුරු පුරුදු ජාවරම් වල යෙදී සිටිති. සිසු නායකයන් ගොඩ ගියේය​. අවසාන විග්‍රහයේදී වැරදුනේ කාටද ? මේ බිලි බෝයිස්ලා සහ ඔවුන්ගේ දෙමාපිය සහෝදරයන්ට පමණි. (2)

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ මහින්ද විජේසේකරත් ඔතන ඉන්න ඕනේ.

      Delete