Tuesday, March 10, 2015

30. අපේ දෙයියෝ අපි වැන්දා

කාලෙකට පස්සේ පොඩි නිවාඩුවකටත් එක්ක පොඩි මස්සිනාලගේ ගෙදර යන්න පිටත් උනා. මොනවා උනත්  නෑදෑයෝ ටිකත් බලලා එන්න එපැයි. ගෙට ගොඩවෙලා විනාඩි දහයක් යන්න හම්බු උනේ නැහැ කවුදෝ බවලතෙක් ඇවිත් මස්සිනාව හොයනවා.

“දීපාල් මල්ලි, හෙට යනවා නේද ජනාධිපතිතුමාව බලන්න?”


අම්මට සිරි. යකෝ ගිය පාර චන්දෙදි මයිත්‍රීට චන්දෙ දෙනවා වෙනුවට පලු පැලෙන්න බැන්න එකා… ජනාධිපති බලන්න යනවා…… මම හෙන අන්දොස්.

ඇස් කොනෙන් මා දිහා බැල්මට් එක දාලා මස්සිනා නිවුනු වොයිස් එකෙන් උත්තර දෙනවා,

“ඔව් අක්කේ. මමයි නෝනයි අම්මයි තුන්දෙනාම යනවා.”

මම ඉතින් පත්තරේ බලනවා වගේ බොරුවට ඇක්ට් කරන ගමන් කල්පනා කරනවා මුන්ගේ දෙපිටකාට්ටු වැඩ ගැන, යකෝ අඩුම ගානේ චන්දේ දුන්නා නම් හිතට දුක නැහැ. ආයෙම බවලතා කතාව පටන්ගත්තා.

“ඔව් මල්ලි. අපි ඔක්කොම ලෑස්ති වෙලා ඉන්නේ හෙට යන්න. එහෙනම් උදේ හයට බස් එක එනවා, මල්ලි ලෑස්ති වෙලා ඉන්න. දැක්කද ඊයේ මහනුවර සෙනග? කට්ටිය ගස් වලත් නැගලා. මට යන්න බැරි උනානේ අප්පා…” අක්කා ලවක් දෙවක් නැතිව වරුණ කියවනවා. දැන් නම් මගේ ඇන්ටනාව ටිකක් එජස් වෙන්න ගත්තා. එතකොටම අක්කා මාව දැකපි.

“කවුද දීපාල් මල්ලි මේ? යාළුවෙක්ද?”

“මේ අපේ පානදුරේ මස්සිනානේ අක්කේ.” පොරි කාපු රිලවා වගේ මස්සිනා උත්තර දෙනවා. හිනා කටක් දාපු අක්කා බුලත් කොලේ දික්කරපි මටත්.

“මල්ලිත් එහෙනම් හෙට එන්න අපිත් එක්ක මැදමුලනේ යන්න, අපේ ජනාධිපතිතුමාව බලන්න….” 

ඔන්න දැන් වැඩේ මීටර් උනා ටක්කෙටම. මස්සිනාලා සෙට් වෙලා තියෙන්නේ හෙට මැදමුලනේ දේවාලේ වදින්න. යන්නත් ඕනේ, කියන්නත් ලැජ්ජයි. වෙනදට සිම්බාබ්වේ බංග්ලාදේශ් ටෙස්ට් මැච් එකක්වත් නොබලා අත අරින්නේ නැති එකා හෙට තියෙන අපෙයි ඕස්ට්‍රේලියාවේ මැච් එකත් පුජා කරලා මේ ඉලව්වේ යනවා කිව්වම මට මාරම පුදුමයි. මොනවා උනත් පවුලේ උන්ගේ සතුටනේ. මමත් ඔළුව වනලා අක්කට හා කිව්වා මොකක්ද සිද්ධිය කියලා බලන්නත් එක්කම. අනික රුපියල් 750ට ට්‍රිප් එකක් සෙට් වෙන්නේ කොහෙද? එහෙන් කන්නත් දෙනවලුනේ.

උදේම පොඩ්ඩවත් අන්දගෙන ඔන්න ඉතින් ගමන පටන්ගත්තා. හිටගෙන යන්නත් සෙනග ලේලන්ඩ් බස් එකේ. දහම් පාසලකින් උස්සපු බංකු හතරක් පහක් හරහට දාලා සීට් පේලි අතරේ සීට් නැති උන්ට වාඩිවෙන්න. අපි කවදද වාදී උනේ බස් වල ට්‍රිප් යන්න. හිටගෙනම යන්න හදනකොට පොරක් ටෝක් එක දෙන්න ගත්තා.

“ඔය මල්ලිලා වාඩිවෙනවද? හයිවේ එකේ යනකොට බස් වල හිටන් යන්න තහනම්.” 

අරූ “හිටං” යන්න කියලා කිව්වේ නක්කලේටද මන්දා, මම ඇරෙන්න බස් එකම හිනා උනා. කොහොමින් කොහොම හරි ඉතින් කට්ටිය මැදමුලන දේවාලෙටත් ගියා මාව එළියේ තියලා.  ආයෙම යන්න ලෑස්ති වෙලා එද්දී අපේ නෑනට සතුට උතුරනවා. මං හිතන්නේ මස්සිනාට ගෙදරින් කැමැත්ත දුන්න දාවත් ඒ තරම් සතුටු මුහුණක් තිබිලා නැතිව ඇති.

“අපේ පොඩ්ඩා මම ගෙදරදී පාඩම් කරලා යැව්ව විදිහටම කිව්වා අනේ. තුවක්කු පත්තු වෙන්නේ නැතිව අපි ඉන්නේ ඔබතුමා හින්දයි ජනාධිපතිතුමනි කියලා.” 

පොඩ්ඩා ඉපදෙනකොට යුද්ධේ ඉවර වෙලා තිබුන නිසා පොඩ්ඩා කොහොමත් ඒක දැනගෙන හිටියේ නෑ නේද කියලා ඇහුවම අර ලස්සන මුහුණේ ගොරහැඩි රැවුමක් එනවා මම හොඳටම දැක්කා.

“ඔයාට ඉතින් ඒ මිනිස්සුව පේන්න බැහැනේ. කොච්චර හොඳද? මැඩම් පොඩ්ඩාගේ ඔළුවත් අත ගෑවා. නාමල් සර් පොඩ්ඩාගෙන් විස්තරත් ඇහුවා.” 

නෑනා පොඩ්ඩාගේ පැම්පර්ස් එක හදන ගමන් කිව්වා. මස්සිනා ගත්ත සෙල්ෆිය බලන්න ඕනේ කියලා මම එතනින් මාරු උනා. මස්සිනාව හොයන කොට මිනිහා දන්සලට ගිහින් කන්න. නෑනා කන්න ගියේ නැද්ද ඇහුවම හයිජින් ෂුවර් නැති නිසා ගෙදරින් හදන් ආපු සැන්ඩ්විච් කනවා කිව්වා.

කොහොමින් හරි ඔන්න වදෙන් පොරෙන් සෙට් එකම පටවන් ආයෙම ගම රට බලා එන්න පටන්ගත්තා. අනේ ඉතින් මග දිගට වරුණාව. කට්ටිය දැන්ම ඊළඟ චන්දෙට ලෑස්ති වෙනවා කියලා වගෙයි මට නම් හිතුනේ. කතා අහලා එපා වෙලා පැත්තකින් වාඩි උනා. එහා පැත්තේ සීයා මා එක්ක කතාවට වැටුනා. වංහුං අහලා අවසානේ  බැලුවම සීයා රස කතා ගුලාවක්. බයිලා අහලා අහලා එපා වෙලා හිටිය එකේ සුටින් සීයා ගේ රස කතා දෙක තුනක් අහන්න චාන්ස් එක ඇදුනා.

ඒ රස කතා ලබන සතියට...එතකම් මොනවද කියන්න තියෙන්නේ මේ මැදමුලන වන්දනාව ගැන…

ඔව්! අපි කතා කරමු!

16 comments:

  1. ශික් තාම ඔය දන්සැලෙන් කන්න හම්බුනේ නෑනේ

    ReplyDelete
    Replies
    1. ඉක්මණට යන්න වෙයි, කවුද දන්නේ ඊළඟ පාර චන්දෙට ආවොත් එහෙම......

      Delete
  2. ලබන සතියේ රස කතා ටික ලියනෝද සිරාවට ??

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි මම හිතන් ඉන්නේ. වැඩ ටිකක් අඩු වේවා...

      Delete
  3. උඹලත් හරි කුජීතයි අප්පා....සත 5ක් වත් හොරකම් නොකර ලැබුන සල්ලිත් රට වෙනුවෙන් පුතාලට ලැම්බෝගිනියි,රොකට් යවන්නයි දීලා හන්ටර් වෙලා ජොබක්වත් නැතුව ඉන්න මනුස්සයව බලන්න ගිහින් තියෙන්නේ අත් වන වනානේ......

    ReplyDelete
    Replies
    1. අත් වන වන ගියේ නැහැ කටුස්සෝ. අත් දෙක ලස්සනට එකතු කරලා වැදගෙන ගියේ....

      Delete
  4. ලංකාවේ හිටියනම් අපිටත් යන්න තිබුනා අපේ දෙයියෝ වැද පුදාගෙන එන්න..

    ReplyDelete
    Replies
    1. වෙලාව තමයි ඉතින්. බලමු දැන් ඉන්න එක්කෙනත් ඒ තත්වෙට ආවොත් චාන්ස් එකක් ගන්න..

      Delete
  5. ලබන සතියට මාස කියක් විතර තියෙනවදෝ....:P

    ReplyDelete
    Replies
    1. අන්න වැදගත් ප්‍රශ්නයක්.. දවස් හත අටකින් ගොඩ දාගන්න තමයි මගෙත් බලාපොරොත්තුව

      Delete
  6. උඹව ආයි නැගිට්ටවන්න වෙයිද අර කතා ටික අහගන්න

    ReplyDelete
    Replies
    1. මේ පාර නම් කොහොම හරි නැගිටලා එනවා කියලා හිතන් තමයි වැඩට බැස්සේ....

      Delete
  7. කාලෙකින් එකක් ලියලා. හොඳයි..

    මේක කියෙව්වම නම් නොදකින් කියලා හිතුනෙ. අම්මපා.. කතාව නෙමේයි. මෙහෙමත් ගොං වාහේලා ඉන්නවද කියලා.

    දැන් ඉන්න එවුනුත් හොඳක් කරනව නම් මට පේන්නෙ නෑ. හැබැයි මිනිස්සුන්ට බය නැතිව කතා කරන්න, තමන්ගෙ අයිතිය වෙනුවෙන් කතා කරන්න, ආණ්ඩුව ව්වේචනය කරන්න, ඇත්ත තොරතුරු දැනගන්න දැන් නිදහස තියනවා.

    යූ ඇන් පී එකෙන් ගන්නෙත් නැති ශ්‍රීලනිපෙ න් ගන්නෙත් නැති දේශපාලන අනාතයො දෙන්නෙක් "ෆූල්" ට්‍රයි එකක් කොරනවා සාටකේ එල්ලිලා වත් ආයෙ ගොඩ එන්න. අපේ පිස්සු ඩයල් ටිකත් ඉතින් අනේ යනවා වන්දනා කොරන්ට.

    ඔය කොයි දේසපාලුවත් එකයි මට නම්.. යුද්දෙ දින්න එකේ රෙස්පෙක්ට් එක ඔබ තුමාට අපි එදත් අත් දෙකම උස්සලා දුන්නා, අදත් දෙනවා.. එත් ඒක ප්‍රයෝජනයට අරගෙන තමන්ට ඕන ඕන විදිහට මහාම මහ සක්කිලි විදිහට මාධ්‍ය පාවිච්චි කරපු, ළමයෙක් වඩාගෙන ගෙදර ගිහින් ඒ පොඩි එකා බොන පිටි එකට බදු ගහපු, තම්න්ගෙ බබාලා තුන් දෙනාට වාහන ගේන්න බදු කපපු, කුඩු කාරයෙක් අල්ලන්න එස් ටී එෆ් එකෙන් පැන්නම එතන්ට ඇවිත් ඒකාව බේර ගත්තු අය බලන්න යන මෙහෙමත් අඳ බාලයො ඉන්නව නෙ මෙහෙව් රටේ..

    ඉතින් කවදා හැදෙයි ද මේ රට..

    ReplyDelete
    Replies
    1. ඔන්න බලහල්ලා.බොලට ලියන්න පුළුවන්කම තියෙද්දී නිකම් ඉන්නවනේ. ලියහල්ලකෝ මේ වගේ දුම් විසිවෙන්න.

      Delete