Friday, March 20, 2015

31. Prison Break - යහපාලන ආණ්ඩුව ......

Prison Break කියන්නේ ලෝකේ ජනප්‍රිය වෙච්ච රුපවාහිනී කතා මාලාවක්. මේක කාලෙකට උඩදී ලංකාවේ රුපවාහිනී නාලිකාවක පෙන්නුවා. දැන් ආයෙම ජාතික රුපවාහිනියෙත් විකාශය වෙනවා. මමත් ඉතින් ඕකට පණ ඇරලා. පහුගිය දාක ෆෝන් එකෙන් මේක බලන ගමන් මට එක පාරටම හිතට ආවේ මේ කතාව වගේම නේද කියලා මේ දින සියයේ ආණ්ඩුව.

Prison Break කියන්නේ සීසන් 4ක දිවෙන කතාවක්. නොකරපු වරදකට හිරේ යන ලින්ක් නම් තමන්ගේ අයියව බේරගන්න හිරේට යන මයිකල් ස්කොෆිල්ඩ්  තමයි මේකේ කතා නායකයා. ස්කොෆිල්ඩ් අයියව බේරගන්න ගහන ගේම,  එලියට පැනලා හැංගිලා  ඉන්න ගමන් තමන්ගේ නිදොස් බව ඔප්පු කරන්න හදන හැටි, ආයෙම අමාරුවේ වැටෙන හැටි තමයි මේකේ කතාංග 82ක් ඇතුලේ තියෙන්නේ. කතාව නොදන්නා ඒ වගේම ඒක රසවත් කියලා හිතන අය ඉන්නවා නම් වැඩි විස්තර මෙතනින් කියවන්න පුළුවන්.


ස්කොෆිල්ඩ්ට ඕනේ උනේ තමන්ගේ අයියා ලින්ක්ව හිරෙන් එලියට ගන්න විතරයි. ඒක තනියෙම කරන්න බැරි නිසාම ස්කොෆිල්ඩ් තව හිරකාරයෝ කිහිප දෙනෙක්වත් මේ වැඩේට හවුල් කරගන්නවා. ඒක හරියට මේ දවස් වල රාජිතට මෛත්‍රී විතරක් ගොඩ දාගත්තම ඇති, උදවු දුන්න UNP කාරයෝ ගැන වොරිවෙන්න ඕනේ නෑ වගේ සිද්ධියක්.


හිරෙන් පැන්න ගමන් මුලින්ම දංගෙඩියට බෙල්ල තියන්නේ ජෝන් අබ්රුසි. වේලාසනම වෙඩි කාලා මැරෙන අබ්රුසිට හිරෙන් පැන්න ආතල් එකවත් විඳින්න හම්බු උනේ නෑ. හරියට රාජ්‍ය ඇමති රජීව් විජේසිංහ වගේ. යහපාලනේට ආවා විතරයි, එක පාරටම ගියා.


හිරෙන් පැනගත්ත උන්ගෙන් එපාම කරපු එකා තමයි තියඩෝර් බැග්වෙල් හෙවත් ටී බෑග්. ළමා අපචාර වලට අහුවෙලා ජීවිතාන්තය දක්වා හිර දඬුවම් විඳින්න ආපු ටී බෑග් කපටිකමින් කොහොම හරි එලියට එනවා. පෙර වැරදි හදාගෙන හොඳ මිනිහෙක් වෙන්න බලනවා වෙනුවට මේ යකා ආයෙම කරන්නේ පරණ පුරුදු අපරාධමයි. සතොසේ නඩු පිට නඩු වැටිලා චොර කරගෙන ඒ මදිවට යහපාලනෙත් චොර කරගන්න හදන රවී කරුණානායක කරන්නෙත් ටී බෑග් කරපු දේමද මන්දා.


තව මාස තුනකින් නිදහස් වෙන්න ඉඩ තියෙද්දී තමන්ගේ කෙල්ල මරිකෘස් වෙන එකෙක්ගේ බිරිඳ වෙන එකෙන් බේරගන්න හිරෙන් පනින පොර තමයි ෆෙර්නන්දස් සුක්රේ. සුක්රේට මේ ලෝකේ කිසිම දෙයක් වැඩක් නැහැ, ඕනේ මරිකෘස්ව විතරමයි. අනිත් උන් හිටියත් එකයි නැතැයි වගේ. මෛත්‍රී මහත්තයා චන්ද්‍රිකා නෝනා පස්සේ හිටං ඉන්නේ අන්න ඒ වගේද මන්දා.


චාල්ස් පටෝෂික් එහෙමත් නැත්නම් හේවයර් කියන්නේ ස්නායු ලෙඩකින් පෙලෙන නින්ද නොයන අමුතුම පොරක්. මිනිහා හිරේ එන්නේ තමන්ගේ බේබදු තාත්තාව මරලා දාලා. හිරෙන් පැන්න හේවයර් දඩාවතේ යන ගමන් ගේකට පැනලා ඒ ගෙදර තියෙන ඕලන්දේ චිත්‍රයක් දකිනවා. එදා ඉඳන් මිනිහා ලී පහුරක් හදන් ඇමරිකාවේ ඉඳලා ඕලන්දෙට යන්න ට්‍රයි එක දෙනවා. ගේක අත්තිවාරමක් දාන්නත් සෑහෙන කලක් ගතවෙන මේ කාලේ දින සියයෙන් නිවාස බුරුතු පිටින් හදලා දෙනවා කියලා කියන සජිත් ප්‍රේමදාස කරන්නෙත් ඒකමද මන්දා?


සී නෝට් කියන්නේ හොර බඩු එහෙට මෙහෙට ගෙනියලා  වරද්දාගෙන හිරේට ආව පොරක්. පට්ට කපටියා වගේම අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න දන්න මේ හාදයා ස්කොෆිල්ඩ්ගේ බෙල්ල මුලින් හිර කරලා පැනලා යන ටීම් එකට සෙට් වෙනවා. පොරට ඕනේ කොහොම හරි අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න. හරියට අර TNA එකේ සම්බන්ධන්, මුස්ලිම් කොංග්‍රස් එකේ හකීම් ඉන්නේ. අන්න ඒ වගේ.


ඉතින් ඔන්න ඔය විදිහට ඔය කියපු හිරකාරයෝ පැනලා යන්නේ බන්ධනාගාරයේ රජ්ජුරුවෝ වගේ හිටපු බෙලික් කියන නිලධාරියාව වළක් අස්සේ අත පය ගැටගහලා බල්ලෙක් වගේ අත ඇරලයි. බෙලික් පොර වෙලා හිටපු කාලේ ස්කොෆිල්ඩ් එක්ක පට්ට මළ. ඒ වගේම තමන්ගේ අසීමිත බලය නිසා හිරකාරයන්ව විතරක් නෙවෙයි අනිත් සේවකයන්ව, නිලධාරීන්වත් පාගාගෙන තමයි බෙලික් හිටියේ. තමන් රන් කරපු හිරගේ ඇතුළෙන්ම මෙහෙම කුමන්ත්‍රණයක් වෙලා තමන්ව බල්ලා වගේ විසිකරලා ගියාට මළ අමොරගත්ත බෙලික් පැනලා ගිය උන්ට ගේම දෙන්න සෙට් වෙන්නේ "මරලා හරි ගේනවා" කියන දැඩි අදිටන ඇතුවයි. පැරදිලා මැදමුලනට විසිවෙච්ච මහින්ද මහත්තයා දැන් ආයේ දෙන්නම් දොඩම් කියා කියා එන්න හදන්නෙත් බෙලික් වගේමද මන්දා?



ඔන්න ඔහොම තමයි ඉතින් මට හිතුනේ මේ කතාව යහපාලන ආණ්ඩුව වෙනුවෙන් හදපු එකක්මද මන්දා කියලා. අනික ඔය කතාව ජාතික රුපවාහිනියේ හදිසියේම පෙන්වන්න පටන්ගත්තේ චන්දෙ කිට්ටු කරලම නිසා කලින් ආණ්ඩුවේ උන්ට මේ හැඟීම මට කලින් ආවද මන්දා? 

හෝව් හෝව්.. කෝ එතකොට ලස්සන දොස්තර නෝනා සේරා?


සේරා කියන්නේ බන්ධනාගාරේ ඉන්න ලස්සන දොස්තර නෝනා. හිරකාරයෙක් වෙච්ච ස්කොෆිල්ඩ් එක්ක ආලෙන් වෙලෙන මේ දොස්තර නෝනා ස්කොෆිල්ඩ්ව උපරිමේට විශ්වාස කරනවා. ඒ විශ්වාසේ කොච්චර දුර දිග යනවද කිව්වොත් මේ ෆොක්ස් රිවර් හිරගෙදරින් පැනලා යන්න ස්කොෆිල්ඩ් වෙනුවෙන් ගිලන් හලේ දොර ඇරලා දෙන්න තියෙන තීරණාත්මකම සහයෝගේ දෙන්නේ එයා. ඒ පිහිට නොතිබ්බා නම් ස්කොෆිල්ඩ්ට කවදාවත් හිරෙන් පනින්න වෙන්නේ නැහැ. හැබැයි ස්කොෆිල්ඩ් හිරෙන් පැන්නේ ලින්ක් එක්ක විතරක් නෙවෙයි තවත් භයානක හිරකාරයෝ දහ දෙනෙක් එක්ක කියලා දැනගත්තම සේරා තමන් කලේ මෝඩ වැඩක්දෝ කියලා පසුතැවිලි වෙන්න ගන්නවා. 

අන්න ඒ වගේ මෛත්‍රී ජනපති කරන්න චන්දේ දීලා කොහෙවත් නැති හොරු රැළකට හොරකම් කරන්න ඩීල් දාන්න ඉඩ දුන්නද කියලා කල්පනා කරන චන්දදායකයා සේරා වගේ කියලයි මට හිතෙන්නේ.....









18 comments:

  1. මට නං කොලොප්පං බං

    ReplyDelete
    Replies
    1. ඔය සීරියස් එක බලලා නැත්නම් ඉතින් කොලොප්පම්....

      Delete
  2. හික්.. කියල වැඩක් නෑ බං... ජීවිතෙම විනාස කරගන්න සේරගෙ චරිතෙ නං අපේ කට්ටියට හොඳටම ගැලපෙනව... හි හි..

    මීට අවුරදු 5කට විතර කලින් ඕකෙ සීසන් තුනක් ගිහින් තියෙන කාලෙ අපෙ තාත්තට ඩවුන්ලෝඩ් කරලා දාලා දීල මං කෑව හොඳ කට්ටක්.. අබිං කෑවා වගේ උන්දෑ උදේ ඉඳන් හෙඩ්ෆොනුත් ගහගෙන කම්පියුටරේ පදිංචි වෙල හිටියෙ.. ඒ මදිවට ඉතිං ළඟ ඉඳගෙන කමෙන්ට්‍රි එක දෙන්නත් ඕනෙ... මුන් කියන කුණුහරුප පරිවර්තනය කරන්න ගියාම විනාසයක් තමයි... දැං ඔය ටීවී එකේ යන එක නොවරදවාම බලන ගමන් මට බනින්නෙ 4 වෙනි සීසන් එක ගෙනත් දුන්නෙ නෑ කියල.... හි හි

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත. ඕක බලන්න වෙච්ච ඇබ්බැහිය කොච්චරද කියනවා නම් අපේ වයිපරේ මම එක්සෑම් වලට පාඩම් කරන අස්සේ රෑ එක දෙක වෙනකම් එක හුස්මට එපිසෝඩ් 4-5 බලන්න පටන්ගත්තා. මම ෆෝන් එකට දාගෙන ට්‍රේන් එකේ යන ගමන් බලන්න ගත්තා. ආයෙම ටීවී එකෙත් බලනවා. ඒ තරම් ඇබ්බැහි උනා.

      Delete
  3. මේක නියම විවරණයක්. මටත් නිකං සමහර චරිත යහපාලනේ වගේ වගේ කියලා හිතිලා තිබුනා. මේ ඔක්කොම නම් නෙමේ.

    සේරා කියන්නේ හැමදාම ඇනගන්නා සුන්දර චන්දදායකයා ම තමයි.
    මහින්ද බෙලික් නෙමෙයි.රනිල් තමයි බෙලික් වෙන්නේ. බලාගෙන ඉමු. තව මාස .........5-6 විතර.

    ReplyDelete
    Replies
    1. තව ටික කලක් යද්දි රනිල් බෙලික් වෙන්නත් ඉඩ තියෙනවා තමයි....

      Delete
  4. අඩේ උඹේ සමාන කිරීම් නම් මරු බං.. සිරාවටම මැච් වෙනවා.. අනේ ඉතින් අපිත් දැන් මොලේ කොලොප්පන් වෙලා මේ බලාගෙන ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ දිනේශ්. මේ පෝස්ට් එක ලියලා ගියා විතරයි මෙන්න තව සෙට් එකක් ඇවිත්. දැන් හිරකාරයෝ, ජේලර්ලා ඔක්කොම එක බෝට්ටුවේ..

      මේ තියෙන්නේ පැනමා හිරගෙදර ආකෘතිය වෙන්න ඕනෙ...

      Delete
  5. බුහ්හහ් හා..........
    සීසමන් හතරම හොදට කාල තියෙනව වගේ හිහි
    සේර වගේ හිරුණික ඇන්ටිත් පව් අනේ හිහි

    ReplyDelete
    Replies
    1. හිරුණිකා අක්කි පව්. මොනවා කරන්නද ඉතින්.....

      Delete
  6. මැදමුලනේ බෙලික් මහත්තයයි මහජනතා සේරා නෝනයි ඇර අනිත් ඔක්කොම යහපාලකයෝ නා නා ප්‍රකාර වැරදි වලට හිරේ ගිය කස්ටිය නේද.... එල එල...

    ReplyDelete
    Replies
    1. සා රස - බෙලික් කියන්නෙත් නැහැදිච්ච එකෙක්, එහෙම නැතිව හොඳ මිනිහෙක් නෙවෙයි. මේ කතාවෙ ඉන්න හැම එකාම කළු හෝ අළු චරිත.

      Delete
  7. හි හි මරු බන් මාත් සීසන් 4 එක හුස්මට බැලුවේ ඒකෙ තව බොහෝ චරිත අපේ දේශපාලන ක්‍රමය ඇතුලේ ඉන්නෝ වගේ දැනුණා

    ReplyDelete
    Replies
    1. ඔව් ඔමා. තව ඉන්නවා. මේ මට ට්‍රේන් එකේදි හිතිලා එක පාරට ලියපු ලියවිල්ලක්. නිදහසේ වාඩිවෙලා කල්පනා කරලා ලිව්වා නම් තව කට්ටිය අහු වෙයි....

      Delete
  8. මාත් ඕකට ඇබ්බැහි වෙලා ඉන්නෙ දැන්. ඔයා කියන්නෙ ඇත්තම තමා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි චාන්දි. දිගටම ඇවිත් පොඩි සප් එකක් දීලා යන්න...

      Delete
    2. ස්තූතියි! ඔයාත් අපේ පැත්තෙ ඇවිත් යන්න.http://chandigesithuviliuyana.blogspot.com/
      http://piyumvila.blogspot.com/
      http://kavimuthumal.blogspot.com/

      Delete
    3. ඔන්න එල්ලගත්තා බ්ලොග් රෝලේ....

      Delete