Tuesday, July 23, 2013

09. අපි ලොව අංක එකේ ව්‍යාජ කිරි නිපැයුම්කරුවෝ වෙමු! | We are the #1 fake milk producers in the world


 

අපි ලොව අංක එකේ ව්‍යාජ කිරි නිපැයුම්කරුවෝ වෙමු! 
මේනකා ගාන්ධි 

දෙමව්පියනි, මම ඇපල් ගෙඩියක් ගෙන එය හොඳ හැටි වේලා ඇපල් පවුඩර් බවට පත්කරන්නෙමි. මාස කිහිපයකට පසුව මෙම වියළි ඇපල් චුර්ණයට ජලය හා රසායනික ද්‍රව්‍ය යොදා එය නැවත ඇපල් ගෙඩියක හැඩයට පත් කොට නැවුම් ඇපල් ගෙඩියක් ලෙස ඔබ හට විකුණමි. ඔබේ දරුවා වෙනුවෙන් එය මිලට ගන්නට ඔබ සුදානම්ද? 

"නැත!" එය ඔබේ නිසැක පිළිතුරයි. නමුත් දිනපතා ඔබ කිරි මිලදීගන්නා විට මේ රැවටීමට හසුවන බව ඔබ දන්නවාද? 

ඉන්දියානු රජය සහ ආහාර සුරක්ෂිතතාව සහ ප්‍රමිතිකරණය පිලිබඳ අධිකාරිය (FSSAI) සෑම වසරකම මෙම ව්‍යාජ කිරි නිෂ්පාදකයන් පිළිබඳව සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරන අතර එම සංඛ්‍යාලේඛන පෙන්වා දෙනුයේ වෙළඳපොළෙහි පවතින කිරි නිෂ්පාදන වලින් 75%ක්ම සැබවින්ම කිරි නොවන බවයි. එම නිෂ්පාදන යුරීයා, ජලය, කෝස්ටික් සෝඩා, තීන්ත, සීනි, හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්, පිෂ්ටය, ග්ලූකෝස්, ලුණු, යොදය ඉවත් කරන ලද (විමේදිත) කිරිපිටි සහ එළවළු තෙල් යන ද්‍රව්‍යයන්ගේ මිශ්‍රණයක් බවයි. එනමුදු තවමත් බලධාරින් විසින් මෙම ව්‍යාජ කිරි නිපැයුම්කරුවන් කෙරෙහි කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට උත්සුක වූ බවක් පෙනෙන්නට නැත. 

ඇතැම් විටෙක ඔබ රජයේ කිරි නිෂ්පාදන මිලට ගනු ලබන්නේ රජය විසින් ඔබ රවටනු නොලැබේය යන විශ්වාසය සහිතව විය හැකිය. සෑම ක්ෂේත්‍රයකම සිදුවන දුෂණයන්ට ඉඩ දී බලා සිටින රජයෙන් මේ ක්ෂේත්‍රයට පමණක් අව්‍යාජත්වය බලාපොරොත්තු විය හැකිද? අද ඔබ මිලට ගන්නා කිරි පැකට්ටුවක තිබෙනුයේ ගවයාගෙන් හෝ මී ගවයාගෙන් නැවුම්ව දොවාගත් ප්‍රාථමික කිරි දෙවුම නොව ප්‍රතිසංස්ථාපිත (reconstituted) කිරි පිටි ද්‍රාවණයක් බව ජනතාවට හෙළි කරනුයේ කවදාද? 

කෘෂි ව්‍යාපාර සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන පිලිබඳ විශේෂඥ, සම්මානලාභී මාධ්‍යවේදියෙකු වන හරිස් ධමොධරන් විසින් පිළියෙළ කල වාර්තාවකට අනුව මෙය ඉතා හොඳින් පැහැදිලි වේ. " අන් කවර තැනකටත් වඩා අපේ අගනුවර (නවදිල්ලිය) මේ තත්වය හොඳින් විද්‍යාමානය. වෙළඳපොල ප්‍රමුඛයා වන Mother Dairy India සමාගම වාර්ෂිකව විමේදිත කිරි පිටි ටොන් 20,000ක් (දිනකට ටොන් 55ක්) පමණ මිලට ගනී. ඒවා දිනකදී කිරි ලීටර ලක්ෂ 6ක් බවට පත්කොට නවදිල්ලියේ විකුණනු ලබයි. ග්‍රීෂ්ම සෘතුවේදී විකිනෙන කිරි පැකට්ටු වලින් 50%කට වඩා ප්‍රමාණයක් නියෝජනය වනුයේ මෙලෙස විමේදිත කිරි පිටි මගින් නිපදවූ ව්‍යාජ කිරි මගිනි".

කිරි නිෂ්පාදකයන්ට අනුව දොවගන්නා නැවුම් කිරි එළැඹෙන සීත සෘතුව දක්වා කල් තබාගන්නා අතර ඒවා කිරිපිටි බවට පත් කරනු ලැබේ. මෙම කිරිපිටි නැවුම් කිරි හිඟයක් පවතින සමයන්හීදී මිශ්‍ර කොට වෙළඳපොළට නිකුත් කරයි. මෙය දෛනිකව සිදුවේ. 

ගුජරාටි සමුපකාර කිරි අලෙවි ෆෙඩරේෂනය සහ Mother Dairy India හිමිකාරිත්වය කියා සිටිනුයේ ඔවුන් ගුජරාටිය, මුම්බාය, මධ්‍ය ප්‍රදේශ් සහ දිල්ලිය යන පෙදෙස් සඳහා 'අමිශ්‍ර' කිරි සපයන බවයි. නමුත් බහුතරයක් කිරි ගවයන් මරා දමා හෝ බංගලාදේශයට පටවා ඇති බටහිර බෙංගාලයට නැවුම් කිරි සැපයීමක් සිදුනොවේ. ගුජරාටියේ සිට කල්කටාව දක්වා දුම්රිය ඔස්සේ කිරි ප්‍රවාහනය සඳහා සීමාවන් පවතින බැවින් එහි ජීවත් වන බහුතරයක් ජනයාට 'නැවුම් කිරි' යනු ප්‍රතිසංස්ථාපිත විමේදිත කිරි පිටි ද්‍රාවණයන් වේ. 

කිරි සුලබව නිපදවනු ලබන ඇතැම් ප්‍රාන්ත වල පවා විමේදිත කිරි පිටි එකතු කිරීම දක්නට ලැබේ. ජලය එකතු කිරීම නිසා සිදුවන ප්‍රමිති බාලකරණයේ හිදැස් වැසීමට මෙලෙස විමේදිත කිරිපිටි එකතු කිරීම සිදු වේ. ඉන්දියාවේ බොහෝ ප්‍රාන්ත වල ඉතාම ඉහල කිරි නිෂ්පාදනයක් තිබියදීත් මෙසේ සිදුවන්නේ ඇයි? සැබැවින්ම කිරි නිෂ්පාදනය, ගවයින් ගහනය පිළිබඳව රජය ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන ව්‍යාජ සංඛ්‍යාලේඛනද? මෙහි සැබැවින්ම සැබෑ නැවුම් කිරි නොමැත. මන්ද යත් බොහොමයක් කිරි සහ මි ගවයන් අනීතික මස්කඩකරුවන්ට  සහ සම්භාණ්ඩ නිෂ්පාදකයන්ට වේගයෙන් අලෙවි වන බැවිනි.

මෙලෙස කල්තබාගත් විමේදිත කිරි පිටි මගින් නිපදවන ප්‍රතිසංස්ථාපිත කිරි එලෙස හැඳින්වීමක් නොකොට තවමත් නැවුම් කිරි ලෙස හඳුන්වන්නේ ඇයි? චීනය ඇතුළු අනෙකුත් රටවල් මෙය සිදු කරන නමුත් ඉන්දියාව එය ක්‍රියාවට නැංවීම පමා කරනුයේ එමගින් ඉන්දීය වෙළඳපොලේ තියුණු කඩාවැටීමක් සිදුවිය හැකි බැවිනි. මෙලෙස ලේබල් කිරීමක් සිදු කල විට පාරිභෝගිකයෝ වඩ වඩාත් නැවුම් කිරි ඉල්ලා පෙළ ගැසෙන අතර එමගින් රජයේ ආශීර්වාදය හිමි නිත්‍යානුකුල නොවන ගව මස් ආනයනයට පහර වැදීමක් සිදුවේ. එබැවින් ඉන්දීය රජයේ පාරිභෝගික කටයුතු පිලිබඳ අමාත්‍යාංශය කිසිසේත්ම මෙම ලේබල් කිරීමට එකඟතාවක් නොදක්වනු ඇත.

2011 කිරි නිෂ්පාදනයන්හි ප්‍රමිති බාලකරණය පිලිබඳ ජාතික සමීක්ෂණයේදී හෙළිවූයේ ඉන්දියාවේ ප්‍රාන්ත බොහොමයක් කිරි නිෂ්පාදන වල අඩංගු විෂ ද්‍රව්‍ය පිලිබඳ වූ පරීක්ෂණ වලින් අසමත් බවයි. ඇතැම් ප්‍රාන්ත 100%ක්ම මෙම පරීක්ෂණයෙන් අසමත් වූ අතර තවත් සමහර ප්‍රාන්ත වලදී ජලය යොදා තනුක කිරීම්, විමේදිත කිරි පිටි එකතු කිරීම් සහ අනෙකුත් රසායනික ද්‍රව්‍ය එකතු කිරීම් පිළිබඳව අනාවරණය විය. මෙම සමීක්ෂණ වාර්තාව 2013 ජනවාරි 10 දින ප්‍රකාශයට පත්වූ අතර මෙමගින් හෙළිවූ භයංකාර සත්‍යය සමනය කිරීමට FSSAI විසින් විවිධ 'හේතු දැක්වීම්' ඉදිරිපත් කරන ලදී.

එම හේතු දැක්වීම් වලට අනුව 'නිශ්චිත නොවූ' නිෂ්පාදන භාවිතයට නුසුදුසු ලෙස නොසැලකෙන අතර ඒවා 'ප්‍රමිතිය අඩු' නිෂ්පාදන ලෙස නම් කරන ලදී. කෙටියෙන් කිවහොත් ඒවා පානය කිරීමෙන් සැවොම මරණයට පත් නොවන බැවින් ඒවා විකිණිය හැක. කිරි වලට ජලය එකතු කර තනුක කිරිම සම්බන්ධයෙන් FSSAI අදහස වුයේ, එම ක්‍රියාවලිය අයහපත් වනුයේ එකතු කල ජලය දුෂිත නම් පමණක් බවයි. එමනිසා FSSAI ආයතනයට අනුව මෙවන් වියදම් අධික, බර මත මිල තීරණය කරන නිෂ්පාදනයක් සඳහා ජලය එකතු කිරිම මගින් පාරිභෝගිකයා රැවටීම අයහපත් දෙයක් නොවේ. ප්‍රමිතිය බාල වුවද, බාලකරණ ක්‍රියාවලිය පිරිසිදු නම්, විෂ රහිත නම්, එයින් සෑහීමට පත්විය යුතුය.

කිරි නිෂ්පාදනයේදී ෆෝමලීන් හෝ ෆෝමල්ඩිහයිඩ එකතුකිරිම නිත්‍යානුකුල නොවන අතර එම සංයෝග පිළිකා ඇති කිරීමටද ඉවහල් වේ. මේ සම්බන්ධයෙන් FSSAI පවසනුයේ මෙවන් ද්‍රව්‍ය කිරි වලට එකතු කරනුයේ කල්තබා ගැනීමට බවත් එයට අනුමැතිය දී ඇති බවත්ය. ඇතැම් කිරි නිෂ්පාදන වල පවිත්‍රකාරක (Detergent) තිබී සොයාගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් FSSAI දරන මතය වනුයේ සේවකයන් තම දෑත් සහ උපකරණ වල නල පද්ධති නිසි ලෙස පවිත්‍ර නොකිරීම මගින් මෙම තත්වය උද්ගත වී ඇති බවයි. එනමුදු කෘත්‍රිම ලෙස කිරි නිෂ්පාදනය කිරීමේදී උකු බව සහ දුස්ස්‍රාවිතාව ඇතිකිරීමට පවිත්‍රකාරක යොදාගන්නා බව ප්‍රකට කරුණකි. වෛද්‍ය පර්යේෂණ සඳහා වූ ඉන්දීය කවුන්සිලය විසින් සිදුකරන ලද පර්යේෂණයකට අනුව කිරි නිෂ්පාදන වල අඩංගු පවිත්‍රකාරක මගින් ආහාර විෂවීම සහ ආන්ත්‍රික සංකුලතා ඇති වන බව තහවුරු වී ඇත.

FSSAI දැන් පවසනුයේ කිරි නිෂ්පාදන නැවුම් ලෙස නිපදවීම පිළිබඳව ක්‍රියාමාර්ග ගැනීමට තමන් අපොහොසත් බවත් එය සිදුකල යුතු වන්නේ ප්‍රාන්ත රජයන් විසින් බවත්ය. අදාළ වාර්තාව දකින තුරු කිසිදු ක්‍රියාමාර්ගයකට නොයන බව ප්‍රාන්ත රජයන් පවසයි. බිහාරය, දිල්ලිය සහ අනෙකුත් ප්‍රදේශ වලදී මෙම සාම්පල කෙසේ, කවර ස්ථාන වලදී ලබාගත්තේද යන්න තමන් නොදන්නා බැවින් ඒ සම්බන්ධව තමන්ට කිසිවක් කළ නොහැකි බව අදාල ප්‍රාන්ත බලධාරීන් පවසා සිටී. FSSAI තම වාර්තාව ප්‍රාන්ත බලධාරීන්ට හෝ ඉන්දීය කිරි නිෂ්පාදකයන්ගේ සංගමයට ලබාදීම ප්‍රතික්ෂේප කරන බැවින් අදාළ අධිකාරීන් හට මෙම ගැටළුව ඉවතලා කටයුතු කිරීමට මගක් පෑදී තිබේ. අහඹු ලෙස හෝ මෙම වාර්තාව ප්‍රාන්ත අධිකාරීන් හා අදාළ බලධාරීන් හට ලැබුනේ නම් අති බහුතරයක් වන රාජ්‍ය රසායනාගාර අක්‍රීය හෝ භාවිතයෙන් තොර ඒවා වන බැව් නිසැකය.

මේ අනුව පෙනී යන්නේ අප තව දුරටත් ලෝකයේ අංක එකේ කිරි නිෂ්පාදකයා නොවන බවත්, අංක එකේ ව්‍යාජ කිරි නිෂ්පාදකයා බවත්ය. මෙම ව්‍යාජ නිෂ්පාදනයන්ගෙන් ඔබේ දරුවා මුදවාගෙන මෙය නවතාදැමීම සඳහා ඔබට කල හැකි එකම දෙය නම් මෙවන් භයානක නිෂ්පාදන මිලදීගැනීම සම්පුර්ණයෙන්ම නවතා දැමීමය.


මුල් ලිපිය මෙතනින්.



18 comments:

  1. ඈ බං කොල්ලෝ.....කිරිත් දැන් කැකිරි වෙලා වගේ නේද?

    ReplyDelete
    Replies
    1. කැකිරි වෙලා නේන්නම්..මට බය තියෙන්නේ අපේ ඉන්දීය ලොකු අයියා වගේම ලංකා චූටි නඟත් මේ විදිහටද වැඩේ දෙන්නේ කියලා.....

      Delete
  2. කතාව නං ඇත්ත. ඉන්දියාවේ නං හැම කඩයකම වගේ නැවුම් කිරි කල්දේරමක් උතුරමින් තියනවා හැම උදේකම.

    ReplyDelete
    Replies
    1. දැන් තියෙන ප්‍රශ්නේ එව්වා ඇත්තටම නැවුම්ද කියන එකයි....

      Delete
  3. ඉතාම අගනා පොස්ටුවකි. මෙතරම් කලක මෙහි එම ප්‍රමාද වීම ගැන දුක වෙමි. කිරි කැකිරි වී ඇති වග.

    ReplyDelete
  4. ලිපියේ තියෙන පැති ගැන කියන්න දන්නෙ නෑ. ඉන්දියාවෙදි නම්බර් වන් ෆ්‍රෙෂ් එළකිරි එකක් බොතෑකී බොහෝ තැනවලින්. මෙහේ නම් නුවර එළිය පැත්තේ පුළුවන්. හොඳ එළකිරි රහෙන් කියන්න පුළුවන්. පොඩි කාළේ ගෙවල්වල බීපූ නිසා...

    ReplyDelete
    Replies
    1. ඇත්තම කිව්වොත් මට නම් ඒ අවබෝධය නැහැ. හැබැයි කිරි දොවනවා ඇහින්ම දුටු තැනකදී නම් නැවුම් එළකිරිම තමා...

      Delete
  5. මම බ්ලොග් ලෝකෙට ආව අලුත මම මේ ගැන කියන්න ගිහින් හොදට අහගත්තා. නමුත් මේක තමයි ඇත්ත. මම අත්දැකීමෙන්ම එය දන්නවා. හොද ලිපියක්.

    ReplyDelete
    Replies
    1. කමෙන්ටුවට බොහොම ස්තුතියි.

      පුළුවන් නම් හොඳට අහගත්ත ලිපියේ ලින්ක් එක දාන්න.

      Delete
  6. එතකොට ලංකාවේ තත්වය මීට අන්තද? එක එක කාලවලට කිරිපිටි වල මෙලමයින් වගේ දේවල්, වල්නාශක හෙම තියෙන බවත් හෙලිදරව් වෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. කවුද කියන්නේ හෙන්රි අයියේ? ඔව්වා විජාතික බලවේග වල කුමන්ත්‍රණ.

      ඉන්දියාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ.

      Delete
  7. හප්පා... මේ කතාව දැන ගත්තේ අදනේ.... එතකොට දැන් මෙහෙත් එහෙමද?

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ කිරි පැකට් ගත්තම අපි නම් ඒ දේ කරන්නේ නැතිව ඇති ඉන්දියාවේ තරමට. හැබැයි විසිර වියළන ලද කිරි පිටි වල නම් ප්‍රශ්න තියෙන වග අහලා තියෙනවා. විශේෂයෙන්ම යොදය ඉවත් කරලා සත්ව තෙල් දාන එක.....

      Delete
  8. හය්යු ....ඉතිං මොකෝ කරන්නේ ...ලංකාවෙමෙහෙම නැතුව ඇති ..ඔය සමාගම් බලන්න යන්න පුළුවන්නේ මෙහෙ

    ReplyDelete
    Replies
    1. මමත් හිතනවා එහෙම වෙන්න ඇති කියලා....

      Delete
  9. අපි බොයි කිරි හහ් !

    ReplyDelete
    Replies
    1. මෙහේ තවම එහෙම දෙයක් නැතිව ඇති.

      Delete