Monday, June 17, 2013

02. ජම්බෝ පීනට් | Jumbo Peanut

අදත් උදේම කෝච්චිය එනකම් කරවැල් කොකා වගේ බෙල්ල දික් කරන් ඉද්දි මෙන්න එනවා සුරූපී ලලනාවක් වේදිකාව දිගේ. 



කවුද කියලා වංහුං බලනකොට තමා දැනගත්තේ මේ ඉන්නේ අපේ අනාගේ සිහින කුමරිය කියලා. ලෝකෝත්තර පැත්තට බර අනාට එහෙව් ලලනාවක් මොකටද කියලා කතා කරන අස්සෙම අනා ගැන ලිව්ව පරණ කතාවක් ඔළුවට ආවා. මේ කතාව අපිට කිව්වේ අනා එක්ක එකට ඉගෙනගත්ත දැන් සිංහයගේ රටේ ඉන්න වට්ටියා.

වට්ටියා කැම්පස් ඉන්න කාලේ දවසක් ගියා වැලිමඩ පැත්තේ උන්ගේ යාළුවෙකුගේ ගෙදර දවස් දෙක තුනක නිවාඩුවකට. ගියෙත් තනියෙම නෙවෙයි, තව ගජයෝ හතර පස් දෙනෙක් එක්ක. කස්ටියම ඉතින් දැන් ප්ලෑන් එක එහේ මෙහේ ඇවිදින්න. යාළුවගේ ගෙදර තියෙන්නේ පොඩි කන්දක් උඩ. කන්ද පහලින් උමා ඔය හරි අපූරුවට ගලන හැටි පේනවලු. වට්ටියයි, සෙට් එකයි තීරණය කළාලු ඔය පැත්තේ විසිට් එකක් දාන්න. අනික ඒ තරම් දුරකුත් පේන්න තිබිලා නෑ.



උදේ දහයට විතර කට්ටිය හෙමිහිට ඔය දිහාට පල්ලම් බහින්න පටන්ගත්තා. පර්යාවලෝකනයට අනුව ඈත තියෙන දේවල් පොඩියට පේන වග දැන හිටියට කඳුකර පැතිවලදි දුර ඩබල් වෙන වග කස්ටියට එච්චර නිච්චි උනේ නෑ. ඒක නිසා ඔය ළඟට යද්දි ඉරත් මුදුන් වෙලා. කන්න බොන්න දේකුත් ගෙනල්ලා නෑ. කස්ටියට ෆට්ට කට්ට. ආපු මෝඩකමට වටේ සිරි නරඹලා ආයෙම පාද පරි-චාරිකාව පටන්ගත්තා පයෝදරයට (ඒ කියන්නේ කකුල් දෙක නේද? ;-) ) වැඳ වැඳ.

බැස්සා වගේ නෙවෙයි නගින්න ගත්තම. සෑහෙන මහන්සියි කස්ටියටම. බාහු බල තියෙන උන් ටික පොඩ්ඩක් වේගෙන් යද්දි අබල-දුබල උන් ටික හෙමින් එන්න ගත්තා. වට්ටියා ගමනේ මාර්ගෝපදේශකයා හින්දා චුට්ටක් පස්සෙන් තමයි ආවේ අනිත් උන් මග ඇරෙයි කියලා (මගේ ඇත්ත සිතුවිල්ල නම්, ඌටත් එච්චර හයිය හත්තිය නැති නිසා ගාට ගාට එන්න ඇති, අනික කැම්පස් කොල්ලෝ බබා හුකුන්ලද ඩේ කෙයාර් දාලා බලාගන්න?). කොහොම හරි වට්ටියාගේ ඇන්ටනාවට වැටුනා අනා ඇර අනිත් උන් ඔක්කොම උඩට නැග්ග බව. අනා කොහෙද බලන්න වට්ටියා ටිකක් නැවතිලා බලන් හිටියා (ඇත්ත කතාව වට්ටියට පට්ට හති කන්ද නැගලා).

ටිකකින් ඔන්න අනා එනවා. අනාගේ කකුල්, අත පය වගේම මුඛයත් වැඩ කරන බව වට්ටියාට මීටර් උණා. බැලින්නම් මූ සාක්කුවේ හොරෙන්ම ජම්බෝ පීනට් එකක් දාගෙන ඇවිත් තියෙන්නේ. අනිත් උන්ට පස්සෙන් එන ගමන් පොර ඒකට තනියෙම වග කියනවා. වට්ටියාට අම්බානක මළ මේකට.



මොනවද යකෝ තනියෙම කන්නේ අපි හැමෝම ඉඳිද්දි?” අළුත් නැව ආවම ජුන්ඩන්ට දාන තගම වට්ටියාත් අනාට දැම්මා. අනා ඕවට සැලෙන්නේ නෑ, මොකද ඌ කොහොමත් ඉන්නේ ඔළුවට පොල් ගෙඩියක් වැටිලා වගේ.

කෑගහන්න එපා බං”, අනා වට්ටියාට කියනවා. සෙට් එකටම කන්න දෙයක් මේකේ නෑ. ඔන්න ඔහේ උඹත් කාපන්. අනිත් උන්ට කියන්න ඕනේ නෑඅයුතු යෝජනාවක් කරන ගමන් අනා වට්ටියාට ජම්බෝ පීනට් පැකට් එක දික් කලා. පැකට් එක හිස් ඇති කියලා අනාට බැන්නට තමන්ට කන්න දේකුත් තියෙනවා කියලා තේරුම් ගියාම වට්ටියාත් සමානාත්මතාව, සම්පත් විසමතුලිතතාව ගැන තෙල් බෙදිල්ල පැත්තක තියලා ළඟ තිබ්බ කණ්ඩියක ඉඳගත්තා කජ්ජක් වළඳන්න. 

කජු ඇට දෙක තුනක් අල්ලට දාලා කන්න හදනකොටම වට්ටියා දැක්කා අමුත්තක්.

මොකද බන් මේ කජු වල පාට? කළුවට තියෙන්නේ පුස් බැඳිලද කොහෙද??” පව්ඩර් වගේ අතට දැනෙන, දිලීර ලෙස සැක කෙරෙන කුඩකින් ආවරණය වෙච්ච ජම්බෝ ඇට දිහා බලන් වට්ටියා අනාට අනතුරු ඇඟෙව්වා. ඇෆලෝටොක්සින් නෙවෙයි, ඒඩ්ස් තිබ්බත් කජු ඇටයක් විසි නොකර කන ගමන් අනා සන්සුන් විදියට උත්තර දුන්නා,

නෑ, නෑ බන්. ඔය පුස් නෙවෙයි. මං ඔය ඇතුලේ තිබ්බ ගම්මිරිස් කුඩු පැකට් එක කඩලා කජු වලට ඉස්සා



එක පාරක් හරි ජම්බෝ පීනට් කාපු උන් දන්නවනේ ඇතුලේ තියෙන පැකට් එක මොකක්ද කියලා? බට ලයිට් උන් එයාලගෙන් අහගන්න එහෙනම්. පුදුමේ කියන්නේ අනා තාමත් විජලනය නොවී යහතින් ඉන්නවා!



සැයු: සියළුම පින්තූර අන්තර්ජාලයෙන් උස්සන ලද අතර ඒ පින්තූර අයිතිකරුවන්ට මගේ හද පිරි ප්‍රණාමය! මේ කතාව මීට කලින් අන්තිම පේලියට මා විසින්ම ලියන ලද්දක් බව කලින් කියවා ඇති උදවියට මතක් කර සිටින්නෙමි.


14 comments:

  1. අනාගේ සිහින කුමරිය අර උදේට උදේට ඉස්ටේශමේ අනා ටෝක් කරන දැරිවිද? (අර අම්මත් එක්ක එන්නේ) :-P

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා...මෙව්වා කියලත් බෑ. නොකියත් බෑ...

      Delete
  2. ඔයා ලියපු අන්තිම පේලියේ මම කියවල තියෙනවා...... හැබැයි එදා වගේම අදත් රසවින්දා...... :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සහෝ.

      Delete
  3. බුදු අම්මෝ . . . එක කොමාවක් නෑරම එතන ඒව මෙතනත් තියනව නේද ???

    ReplyDelete
    Replies
    1. පස්වාන් දහසකට බුදු වෙන්න ඕනේ අයියා, එකම එකා තමයි දෙතැනම ලියන්නේ ඕන්....

      Delete
  4. නෙළු පලා හෙලා දුවන මුව පොව්වකු බඳු වූ මාගේ චරිතය ජාත්‍යන්තර කුමන්ත්‍රණයකට අනුව සූක්ෂමව සමූලඝාතණය කල සනිඳුවා හෙලා දකිමු. සත්‍ය කථාවේ හරය වෙනතකට හරවමින් කතා නායක වෙනුවට පොතේ ගුරාට මඩ ගැසීම සම්බන්දයෙන් සනිඳුවාට බුද්ධිමය දේපල පනත යටතේ නඩු පවරන බවටද මෙයින් දිවුරා පොරොන්දු වෙමි.
    මීට වට්ටියා...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒක ඇත්ත, ගල්කිස්සෙන් කෝච්චියේ බහින වෙලාවක් බලලා තල්ලු කරන්න පුළුවන්නේ... (මං කිව්වේ සනිඳුවා ගැන හොඳේ)

      Delete
  5. හෙන ගොන් පාර්ට්

    ReplyDelete
    Replies
    1. මට මේ කමෙන්ට් එක මිස් වෙලානේ.

      ගොන් පාර්ට් නැති ලොවක් තියේද ශුජා?

      Delete
  6. අපේ ස්කූල් වෑන් එකේ දීත් ඔය සිද්දියම වුණා.. ඔන්න හැබැයි මම නම් සම්බන්ද වුනේ නෑලු හොඳේ

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින් පවු කිව්වලු.......

      Delete
  7. අනාට එහෙම නම් බඩක් නෙවි තිබිලා තියෙන්නේ. :D

    ReplyDelete
    Replies
    1. අනා විතරක් නෙවෙයි බුද්ධියෝ, ගොඩක් උන් ඕක කාල තියෙනවා ලැජ්ජාවට නොකිව්වට.

      Delete